මේ උපවාස පලහිලව්ව නිසා විමලුත්, ඉතිරි වී සිටින ඉතා සුළු පිරිසක් වන ඔහුගේ ගෝලබාලයිනුත් වැටී සිටින කණගාටුදායක තත්වය ගැන ඇත්තෙන් ම පව් ය කියා සිතේ. ඒ නිසා කිසිවක් නො ලියා සිටින්නට සිතාගෙන සිටියත් මහින්ද රාජපක්ෂගේ පහත දැක්වෙන මුග්ධ කතාව ඇසූ විට නම් නිකම් ඉන්නට සිතෙන්නේ නැත.
පසුගිය කාලය මුළුල්ලේ ම ඔහු පොතක්, පතක් කියැවූ, වැදගත් යමක් උගත්, හරවත් දෙයක් කතා කළ, ආදර්ශවත් ජීවිතයක් ගත කළ පුද්ගලයකු ලෙස හැසිරුණේ නැත. ඒ වෙනුවට ඔහු හැසිරුණේ වලව්වක ඉඳුල් කමින්, කුමන්ත්‍රණවලට සහභාගි වෙමින්, වලව්වේ සතුරන්ට ගොරවන බැලයකු ලෙසයි. එවැන්නන්ට වලව්වලින් සාමාන්‍යයෙන් ම සිදු වන පරිදි විමල් අමාරුවේ වැටුණු පසු වලව්වේ ඇත්තෝ ඔහු නො තකා හැරිය හ.
ඔහු රක්ෂිත බන්ධනාගාරගත වී සිටින්නේ මහජන දේපල සොරකමකට ය.
නැතුව ඔහු වඩු වැඩ කළ නිසා හෝ කම්කරුවකු ලෙස වැඩ කළ නිසා නො වේ.
ඇතැමුන් පිළිකුල් කරන, එහෙත්, සමාජයට අත්‍යවශ්‍ය සේවාවක් වන සනීපාරක්ෂක කම්කරුකම වුණත්, මහජන දේපල සොරකම් කිරීමට වඩා ලක්ෂ වාරයක් උතුම් රැකියාවකි.
කුඩු විකිණීම, කුලියට මිනී මැරීම පවා මහජන දේපල සොරකම තරම් නින්දිත නැත.
රාජපක්ෂලාත්, ඔහුගේ චෞර නඩයත් ඒ බව හොඳින් තේරුම් ගත යුතු ය. එපමණක් නොව, වර්තමාන චෞර පාලකයන්ට ද එය මතක් කර දිය යුතු ය. සමස්තයක් ලෙස, පූර්ණකාලීනව මහජන නියෝජිත දේශපාලනය කරන කොයි එකාත් දැන ගත යුතු දෙයක් වන්නේ තමන් පරපෝෂිත ඌරන් පිරිසක් බවයි.
දේශපාලකයන් නො සිටියා ය කියා මේ රටට කිසිවක් සිදු වන්නේ නැත. එහෙත්, වඩු බාස්ලා, කම්කරුවෝ නැතිනම් දේශපාලකයන්ට මිනී පෙට්ටිත්, මිනී වලවලුත් නැත.
මහජන දේපල සොරකම් කළ හා කරමින් සිටින නීචයන්ට වඩා වඩු බාස්ලාත්, සෙසු කම්කරුවෝත් ශ්‍රේෂ්ඨ මිනිස්සු ය.
වඩු බාස්ලා, කම්කරුවන් ආදීන්ගෙන් සමන්විත මේ රටේ ජනතාව ගොන් බාස්ලා ය කියා සිතාගෙන සිටින අයට වැඩි ආයුෂ නැත.