ඉහල අධිකරණවල ගොඩ ගැසී තිබෙන නඩු විභාග කිරීම කඩිනම් කිරීමේ අරමුණින් දැනට සිටින මහාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව වැඩිකිරීමේ යෝජනාවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.
මේ වසරේ මාර්තු මාසය වනවිට නඩු 28,000 කට ආසන්න ප්‍රමාණයක් විභාග කිරීම පිණිස ඉහල අධිකරණවල සේවය කරන්නේ මහාධිකරණ විනිසුරුවරුන් 75 දෙනෙකු පමණක් බැවින් විනිශ්චයකාරවරුන්ගේ සංඛ්‍යාව 85 දක්වා වැඩිකිරීමට අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඉල්ලා තිබූණි.
ඒ සඳහා අවස්ථාව සලසමින් අදාළ පනත සංශෝධනය කරන මෙන් නීති කෙටුම්පත් සම්පාදකයන්ට උපදෙස් දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව සඳහන් වේ.
මේ වන විට සිවිල් අධිකරණවල නඩු 5749 ක්, ඉහල වාණිජ අධිකරණවල නඩු 5580 ක් සහ අනෙක් ඉහල අධිකරණවල නඩු 16574 ක් විභාග කෙරෙමින් පවතින බව අධිකරණ තොරතුරුවල සදහන්ය.