විගණන පනත කෝ?
හදුන්නෙත්ති අසයි…
“මෛත්‍රී-රනිල් හවුල් පාලනය පැරණි ක්‍රියාමාර්ග ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න යනවා. මෛත්‍රී-රනිල් ආණ්ඩුව මේ සෙල්ලම් කරමින් ඉන්නේ ජන වරමත් සමඟයි. මහජනතාවගේ ජනවරමට පිටුපාන්න මේ ආණ්ඩුව උත්සාහ කරනවා. මේ ආණ්ඩුව හදපු ජනතාවගේ වරම තිබුණේ නාස්තිය, දූෂණය, වංචාවට එරෙහිවයි. මේ ආණ්ඩුව එම මතය නියෝජනය කළ යුතුයි. දින 100 ආණ්ඩුව කාලයේ දූෂණ මර්දනය වෙනුවෙන් විවිධ ක්‍රියාමාර්ග සඳහා අපිත් මැදිහත් වුණා. නමුත් අද ජනතාවට දුන් පොරොන්දු උපන් ගෙයි මරා දාලා සුපුරුදු නව ලිබරල් ආර්ථික ක්‍රියාවලිය ඉදිරියට ගෙන යමින් තිබෙනවා” යැයි ජවිපේ පාර්ලිමේන්තු මංත්‍රි සුනිල් හදුන්නෙත්ති පැවසීය. කෙටුම්පත්කර ඇති විගණන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් බත්තරමුල්ල ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදි මේ බව පැවසීය.
“ජාතික විගණන පනත එම ක්‍රියාමාර්ගවලට හොඳම උදාහරණයයි. ජනතාවගේ බලපෑම නිසා මේ ආණ්ඩුවට 19වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගන්න සිදුවුණා. එම සංශෝධනයන්ට අනුව ජාතික විගණන සේවා කොමිසම පිහිටුවන්න සිදුවුණා. එම කොමිසම සඳහා දැන් නව කාර්යාලයක් පිහිටුවා තිබෙනවා. නමුත් එම ජාතික විගණන සේවා කොමිසම බලාත්මක කිරීම සඳහා අවශ්‍ය ජාතික විගණන පනත තවමත් සම්මත කර නැහැ. ජාතික විගණන සේවා කොමිසම බලාත්මක කරන නීතිය තමයි ජාතික විගණන පනත. එම පනත ප්‍රමාදය කිරීම නිසා විගණකාධිපතිවරයාට තමන්ට අවශ්‍ය නිලධාරීන් පවා පත්කරගැනීමට නොහැකි වී තිබෙනවා. පනත ප්‍රමාදය නිසා විගණකාධිපතිවරයාගේ වැටුපවත් ලබාගන්න නොහැකි වෙලා තිබෙනවා. විගණන පනත හරහා ජාතික විගණන සේවා කොමිසමට බලය පැවරිය යුතුව තිබෙනවා. නමුත් දැන් කොමිසමට අවශ්‍ය ප්‍රතිපාදන නැහැ. අද විකණකාධිපතිවරයා පිළිබඳව විශාල සාකච්ඡාවක් මතුවෙලා තිබෙනවා. පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව, ගිණුම් කාරක සභාව වැනි කමිටුවලට විගණකාධිපතිවරයාගේ මැදිහත්වීමත් සමඟ බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව විගණකාධිපතිවරයා ලබාදුන් පිටු 1251ක ඓතිහාසික වාර්තාව නිසා ඔහුගේ කාර්යභාරය පිළිබඳව සමාජයේ ඇගයීමක් තිබෙනවා. මේ ආණ්ඩුව ජනවරමට අනුව කටයුතු නොකළත් විගණකාධිපතිවරයා ජනවරම නියෝජනය කරමින් කටයුතු කරනවා”යැයි ඔහු වැඩි දුරටත් පැවසීය.