“ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාව පිළිබඳ පවතින බොහෝ මත සාවද්‍යයි, මේ රටේ ජනතාව හරිම මිත්රශීලියි. ඒ වගේම බෞද්ධ මහනායක හිමිවරුන්ගේ පටන් රාජ්‍ය නායකයන් දක්වා සියලුදෙනාගේ ආගන්තුක සත්කාර ඉතාමත් විශිෂ්ටයි. දළදා මාලිගාව වැනි ලොව සුවිශේෂී පූජනීය ස්ථානයන් වෙත යාමට ලැබීම ඉතාමත්ම භාගයක්. අපිට මෙම අවස්ථාව ලබා දීම පිළිබඳව අමාත්‍ය ෆයිසර් මුස්තෆාට අපගේ ගෞරවය හිමි විය යුතුයි.” මෙරට සංචාරයක නිරත වූ දෙමළ ඩයස්පෝරාවේ කැනේඩියානු නියෝජිත කණ්ඩායම පසුගියදා මහනුවරදී දළදා මාලිගාවේ ආගමික වතාවත් සඳහා සහභාගී වී පසුව මහානායක හිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙලෙස ප්‍රකාශ කරන ලදි.
“ශ්‍රී ලංකාව කියන්නේ ඉතාම සුන්දර රටක්. ජනතාවත් හරිම කරුණාවන්තයි. ඔවුන් බහු ආගමික සංස්කෘතික ජන සමාජයක් තුළ ඉතාම සාමකාමීව ජීවත් වෙනවා. අපි ෆයිසර් මුස්තෆා ඇමතිතුමා සමඟ ජනාධිපතිතුමා හමු වුනා. ඒ වගේම අපිට මහනායක හිමිවරුන් හමු වෙන්න අවස්ථාවක් ලබලා දුන්නා. ලෝකයේ ගෞරවයට පාත්‍ර වන දළදා මාලිගාවට යන්නත් අපට පුළුවන් උනා. ඒ හැම වෙලාවකම අපිට ලැබුණු ආගන්තුක සත්කාරය ඉතාම විශිෂ්ටයි. මේ පණිවිඩය ජාත්‍යන්තරයට අප රැගෙන යා යුතුයි. ශ්‍රී ලංකාව පිළිබඳව පවතින සාවද්‍ය මත දුරු කිරීමට අප මහනායක හිමිවරුන්ට ආරාධනා කලා. උන්වහන්සේලා අපේ ආරාධනාව පිළිගත්තා. එය අපිට විශාල ගෞරවයක්…”
මෙම දූත මණ්ඩලයට කැනේඩියානු පාර්ලිමේන්තු නියෝජිතවරුන් තිදෙනෙකු ඇතුළත් විය. පාර්ලිමේන්තු මන්ත්රීනී යෂ්මින් අබ්දුල්ලා කරීම් රස්තානි , පාර්ලිමේන්තු මන්ත්රීනී අයිරීන් මන්යාසීන් , පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රකාන්ත් ආර්යා, පාර්ලිමේන්තු නියෝජිත ආතර් ශෝර්ට්ස් ඇතුළු 25 දෙනෙකුගෙන් සමන්විත වූ මෙම දෙමළ ඩයස්පෝරා නියෝජිත මණ්ඩලය සඳහා ආයෝජකයින් කණ්ඩායමක් ඇතුළත් විය. ඔවුන් මෙරට විවිධ ක්ෂේත්රයන් තුළ ආයෝජනය කිරීම සඳහා මූලික එකඟතාවයක් ඇතිකරගන්නා ලදී.
මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් ඇතුළු මහනුවර ප්‍රදේශයේ වාණිජ මණ්ඩල ප්‍රධානීන් සමඟ විශේෂ සාකච්ඡාවක් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී පැවති අතර එහිදී මධ්‍යම පළාත තුළ සාමකාමී සමාජ තත්ත්වය පිළිබඳ සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් ප්‍රධාන අමාත්‍යවරයා විසින් සිදු කරන ලදී. පසුව එම ප්‍රදේශයේ ආයෝජන අවස්ථා පිළිබඳව සාකච්ඡා කරන ලදී. මෙම අවස්ථාව සඳහා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය නියෝජනය කරමින් අමාත්‍යංශ ජේෂ්ඨ උපදේශක කොළඹ වාණිජ මණ්ඩලයේ සභාපති ආචාර්ය අමිල කංකානම්ගේද සහභාගී විය.