ගොවිතැන, කර්මාන්ත හා සේවා සියල්ල නවීකරණය උදෙසා අරමුදල් සහ උපකරණ, නව නිපැයුම් සඳහා දිරිගැන්වීම් ඇතුළු යෝජනා ගොන්නක් සහිත ජාතික ආර්ථිකය නවෝත්පාදනය දෙසට යොමු කරවන 2018 අය-වැය ලබන 09 වැනිදා මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ 21 වැනි මුදල් ඇමැතිවරයා වශයෙන් 72 වැනි අය-වැය ලේඛනය රටට ඉදිරිපත් කරමින් රටේ ප්‍රධාන අංශ 40ක දියුණුව ඉලක්ක කළ තුන් අවුරුදු වැඩපිළිවෙළ (2018–2020) පණ ගැන්වෙන යෝජනා මෙවර ඉදිරිපත් වනු ඇත.
නව ආයෝජන හා නව සොයාගැනීම් දිරිගන්වා රටේ පොදු ජනතාවට නව රැකියා, ඉහළ ආදායම් මාර්ග උත්පාදනය සිදු කරන අතර, සංවර්ධනය, සුබසාධනය ඉලක්ක කොට ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් කියා සිටියි.
රජය – පෞද්ගලික අංශය සමඟ හවුල්කාරිත්ව ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කිරීම, ඒ ඔස්සේ රටේ ආර්ථික යටිතල පහසුකම් දියුණු කිරීම, ඉලක්ක කොට ඇත.
කෘෂිකර්මාන්තය හා බැදුණු පශු සම්පත්, ධීවර, වැවිලි, වාරි ජල කළමනාකරණය, අධ්‍යාපනය, සෞඛ්‍ය, නිපුණතා සංවර්ධනය නව සොයාගැනීම් සඳහා වූ දිරිගැන්වීම් මෙවර ලබාදෙනු ඇත.
රටේ නව ව්‍යවසායක පරපුරක් බිහි කිරීමට අරමුදල්, දැනුම, තාක්ෂණය හා ජාත්‍යන්තර වෙළෙඳපොළ දිනාගැනීමට ක්‍රමවේද හඳුන්වා දෙන අතර, කාර්යක්ෂමතාව, පලදායිතාව ඉහළ නැංවීමට වැඩි අවධානයක් යොමු කර තිබේ. ඊට අමතරව සංචාරක, විද්‍යා හා තාක්ෂණ අංශ දියුණු කරනු ඇත.
දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස අය-වැය හිඟය 4.6%ක මට්ටමට ගෙන ඒම, රාජ්‍ය ණය බර, දේශීය ඉතුරුම්, දේශීය ආයෝජන, අපනයන ආදායම් වැඩි කරගැනීම මෙවර අයවැයේ ඉලක්ක වී තිබෙන බවද පැවසේ.