සමලිංගික විවාහය නීතිගත කිරීම සඳහා සහයෝගය පළකරමින් ඔස්ට්‍රේලියාවේ අගමැති මැල්කම් ටර්න්බුල් ඇතුළු දේශපාලන නායකයෝ ජනතාව ඉදිරියට පැමිණෙති.
ඔස්ට්‍රේලියානු විවාහ නීතිය සංශෝධනය කරන ලෙස ඉල්ලමින් 20,000කට අධික පිරිසක් සිඩ්නි නුවරට රැස්වී සිටියහ.
මෙහිදී කිසිවෙකු බලාපොරොත්තු නොවූ අවස්ථාවක අගමැති මැල්කම් ටර්න්බුල් ජනතාව ඉදිරියට පැමිණ, සමලිංගික විවාහය නීතිගත කිරීමට තම සහයෝගය ලැබෙන බවට ප්‍රකාශයක් කළේය.
ඉන් අනතුරුව ඊට සහයෝගය පළ කරමින් ඔස්ට්‍රේලියාවේ විපක්ෂ නායක බිල් ශෝටන් ද රැළිය අමතා කතා කළේය.
සමලිංගික විවාහය නීතිගත කිරීම සඳහා ජනතාවගේ කැමැත්ත විමසා බැලෙන සමීක්ෂණ ඡන්ද පත්‍රිකාවක් ජනතාව අතර බෙදා හැරීම සැප්තැම්බර් 12 වැනිදා ආරම්භ වනු ඇත.
මෙම තැපැල් ඡන්දයේ ප්‍රතිඵලය මගින් සමලිංගික විවාහය නීතිගත කිරීමට නීත්‍යනුකුල බලයක් නොලැබෙන අතර එය කිසිදු බැඳීමකට යටත් නොවේ.
නමුත් බහුතර ජනතාව ඊට කැමැත්ත පළකර ඇත්නම් ඒ සඳහා පාර්ලිමේන්තුව තුළ ඡන්ද විමසීමක් සිදුකිරීමට මග පෑදෙනු ඇත.
මේ වනවිට රටවල් 23ක් සමලිංගික විවාහය නීතිගත කර ඇති බව ඔස්ට්‍රේලියානු අගමැතිවරයා රැළිය අමතමින් ප්‍රකාශ කළේය.
“ඒ එක රටක හරි මේ වෙනකොට අහස කඩා වැටිලා තියෙනවද? ජීවිත ඇනහිට තිබෙනවද? සාම්ප්‍රදායික විවාහය අනතුරට පත්වෙලා තියෙනවද? ‘නැත’ කියන එක තමයි පිළිතුර.” යනුවෙන් අගමැති ටර්න්බුල් කියා සිටියේය.
මේ අතරතුර විපක්ෂ නායක බිල් ශෝටන් කියා සිටියේ සමලිංගික විවාහය නීතිගත කිරීම සඳහා මහජන සමීක්ෂණ ඡන්දයෙන් බහුතර කැමැත්ත හිමිවනු ඇති බවට තමා අපේක්ෂා කරන බවය.
“හැම විවාහයකටම සමාන සැලකීම් ලැබීම යථාර්ථයක් බවට පත්වනු දැකීම සඳහා අපට තරණය කිරීමට ඇත්තේ තව එක් කන්දක් පමණයි. අද අපි ඒ කන්දත් එකට එක්වී තරණය කරමු” යැයි ඔහු ප්‍රකාශ කළේය.