ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ව්‍යවස්ථා පෙරළියෙන් පසු මේ වන විට ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයත්, එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ එක්සත් ජාතික පෙරමුණත් දේශපාලන වෙනස්කම්වලට මුහුණ දෙමින් සිටින අතර දෙපාර්ශවය තම තමන්ට බහුතරය දිනා ගැනීම සඳහා විවිධ මෙහෙයුම් දියත් කර ඇත. එහි තවත් එක් අදියරක් ලෙස දෙමළ ප්රගතිශීලි සන්ධානයේ නියෝජිතයන් අද (07) ජනාධිපති නිල නිවසට කැඳවා තිබුණේ ඉදිරි දේශපාලන තීන්දුව සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහාය. ඒ අනුව හිටපු අමාත්‍යවරුන් වන මනෝ ගනේෂන්, පලනි දිගම්බරන්, රාධ ක්‍රිෂ්ණන් ඇතුළු කණ්ඩායම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනව හමුවී සුහදව සාකච්ජා කර ඇත.
දෙපාර්ශවයේ සාකච්ජාවේදී ජනාධිපතිවරයා විසින් ඉල්ලීම් තුනක් ඉදිරිපත් කර ඇත.
එහි පළමුවැන්න වන්නේ ප්‍රබල අමාත්‍යධූර සමඟින් දෙමළ ප්රගතිශීලි සන්ධානයේ මන්ත්‍රීවරු හයදෙනාම නව ආණ්ඩුවට එක්වන ලෙස කර ඇති ඉල්ලීමයි. කොන්දේසි විරහිතව මහින්ද රාජපක්ෂ අගමැතිධූරය දරන ආණ්ඩුවකට අමාත්‍යධූර ගෙන හෝ නොගෙන සහය දීමේ අවශ්‍යතාවක් නොමැති බව පවසා ජනාධිපතිවරයාගේ පළමු ඉල්ලීම ඔවුන් ප්‍රතික්ෂේප කර තිබේ.
එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්නේ නම් පාර්ලිමේන්තුවේ ජන්දය විමසන අවස්ථාවේදී ජන්දය දීමෙන් වැළකී සිටින ලෙස ජනාධිපතිවරයා මනෝ ගනේෂන් ඇතුළු කණ්ඩායමෙන් ඉල්ලා ඇත. එය දෙවන ඉල්ලීමයි. ඊට ප්‍රතිචාර දක්වමින් ඔවුන් සඳහන් කර ඇත්තේ පාර්ලිමේන්තුවේ ජන්දය විමසන අවස්ථාවේ ජන්දය දීමෙන් වැළකී සිටීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවයි.
මෙම ඉල්ලීම් දෙකම ප්‍රතික්ෂේප කිරීම නිසා යම් දුෂ්කර තැනකට පත්වූ ජනාධිපතිවරයා තුන්වන ඉල්ලීමද මන්ත්‍රී කණ්ඩායම හමුවට ඉදිරිපත් කර ඇත.
මහින්ද රාජපක්ෂගේ අගමැතිධූරයට එරෙහිව එක්සත් ජාතික පෙරමුණෙන් ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාවේදී මහින්ද රාජපක්ෂ පරාජයට පත්වුවහොත් රනිල් වික්රමසිංහව අගමැතිධූරයට පත්කර ගැනීමෙන් වළකින ලෙස ජනාධිපතිවරයා ඉල්ලා තිබේ. එවැනි තත්ත්වයකදී ජනාධිපතිවරයා ලෙස තමන්ට රනිල් වික්‍රමසිංහ සමඟ වැඩ කළ නොහැකි බවයි ජනාධිපතිවරයා පවසා ඇත්තේ.
එම තීරණය එක්සත් ජාතික පෙරමුණ විසින් ගනු ලැබිය යුතු කාරණයක් හෙයින් “අපේ අගමැති කවුද කියන එක එක්සත් ජාතික පෙරමුණ විදිහට කතා කරලා අභ්‍යන්තරයේ ගන්න ඕන තීරණයක්” ලෙස මනෝ ගනේෂන් පවසා ඇත.