එළැඹෙන මැතිවරණවලට මුහුණ දී ජයග්‍රහණයක් ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකාබද්ධ විය යුතු බවට එම පක්ෂයේ ජේ‍ෂ්ඨ ඇමැතිවරු පිරිසක් පක්ෂයේ නායක ජනපති මෛත්‍රිපාල සිරිසේනත්, ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් පෙනී සිටින හිටපු ජනපති මහින්ද රාජපක්ෂත් හමුවී විශේෂ කරුණු දැක්වීමකට සූදානම් වන බව වාර්තා වේ.

නව ආදායම් බදු පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ අංක 5 දරන කමිටු ශාලාවේදී ශ්‍රී ල.නි.ප. නායක මෛත්‍රිපාල සිරිසේන ගේ ප්‍රධානත්වයෙන් පැවැති එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමේ රැස්වීමේදී, එක්සත් ජනතා ජේ‍ෂ්ඨ  ඇමැතිවරයකු ශ්‍රී ල.නි.ප. හා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ල.නි.ප. කණ්ඩායම එකතු විය යුතු බවට යෝජනා කර තිබේ.

එම මන්ත්‍රි කණ්ඩායමේ රැස්වීමට සහභාගි වූ ජේ‍ෂ්ඨයකුගෙන් මේ ගැන විමසූ විට කීවේ එම ජේ‍ෂ්ඨ  ඇමැතිවරයා සිය අදහස ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ අවස්ථාවේ ලබන තුන් වැනිදායින් (සැප්තැම්බර් 03) පසුව ඒ පිළිබඳව සාකච්ඡා කරමුයි ජනාධිපතිවරයා පැවැසූ බවය.