ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් සමයේ සොල්දාදුවන්ගේ චිත්ත ධෛර්යය වඩවනු පිණිස ය කියා පිංපොං, අර්ජුන් කමලනාත්, ගයේෂා පෙරේරා, සේනානායක වේරලියද්ද වැනි කලාකරුවන් පිරිසකට ඉහළ වැටුප්, දීමනා, වාහන ආදිය දුන් හැටි දැන් හෙළිදරව් වී හමාර ය.
මෙහි ඇති දූෂණය ගැන අපි එතරම් සැකිලිමත් වන්නේ නැත. හේතුව, දූෂිත ජනතාවක් හා දූෂිත ම දූෂිත රජයක් හමුවේ දූෂිත රාජ්‍ය නොවන සංවිධාන හා දූෂිත මාධ්‍ය කෑගැසුවාට ලොකු දෙයක් වෙන්නේ නැති බව දැන් පැහැදිලි ය.
මෙහි ඇති දේශපාලන උපායමාර්ගය අධ්‍යයනය කළ යුතු ය. රාජපක්ෂලාගේ ජනප්‍රියත්වය පදනම් වූයේ මේ අල්ලස් දීම් මත ය. ඔවුන් වෙනුවෙන් මත සම්පාදනය කරමින් රට පුරා සැරිසැරූ මෙවැනි පුද්ගලයන් පසුපස තිබුණේ වෙන මොනවාවත් නොව සල්ලි ය. දැන් ඉන්න අය පසුපස ද ඇත්තේ සල්ලි හා සල්ලි පිළිබඳ බලාපොරොත්තු ම තමා ය.
මහජන මුදලින් මෙසේ අල්ලස් දීම සීමාවකින් තොර විය. දේශපාලකයන්ට ජාවාරම්, රජයේ නිලධාරීන්ට තීරු බදු රහිත වාහන, පිටරට චාරිකා, ව්‍යාපාරිකයන්ට වංචාවන්ට ඉඩ, උපාධිධාරීන්ට පිංපඩි රැකියා, ගොවීන්ට නොමිළේ පෝර, ගොවි සංවිධාන නායකයන්ට කොන්ත්‍රාත්, ප්‍රාදේශීය දේශපාලකයන්ට අනවසර ඉඩම්, සම්බන්ධීකරණ නිලධාරි හා උපදේශක තනතුරු, පූජකයන්ට ලොකු ලොකු තෑගි, මාධ්‍ය’වේදීන්ට’ ලැප්ටොප් හා බදු සහන වැනි බොහෝ ක්‍රම තිබුණු අතර ඒවායින් අති විශාල පිරිසක් වාසි ලැබූ හ.
රාජපක්ෂ ක්‍රමය බිඳ වැටුණේ අන් කිසිදු හේතුවක් නිසා නොව මහජන මුදලින් යැපෙන මේ දැවැන්ත යාන්ත්‍රණය තවදුරටත් පවත්වාගෙන යාමට බැරි වූ නිසා ය. මේ දැවැන්ත, දූෂිත රජයේ බර දැරූ සැබැවින් වැඩ කරන ජනයාට එය එපා වූ නිසා ය. කොයි තරම් ජාතිවාදය ඇවිළුවත් සිංහල ජනයාගෙන් ද අති විශාල පිරිසක් රාජපක්ෂලාට එරෙහිව ඡන්දය දුන්නේ ඒ නිසා ය.
2015 ජනවාරි 8 මෘදු තීව්රතාවකින් යුතුව සිදු වූ විප්ලවයෙන් පසු තාවකාලිකව මෙම ක්‍රමය ප්‍රතික්ෂේප වී තිබේ. එහෙත් සම්පූර්ණයෙන් ම නොවේ. වර්තමානයේදී ද ඒවා සිදු වේ. එහෙත් වෙනසක් ඇත. දැන් මහජන මුදලින් හොරාකෑමට හැකියාව ඇත්තේ කිංකොංලාට විතර ය. පිංපොංලාට නැත.
ජනවාරි 8 විප්ලවයට දායක වූ බොහෝ පිංපොංලා දැන් උග්‍ර රාජ්‍ය හා ආණ්ඩු විරෝධීන් බවට පත් වීමේ රහස ඇත්තේ එතැන ය. සමහරුන් අයින් වුණේ දුන් තනතුරු මදි නිසා ය. බොහෝ දෙනෙකුට කිසිවක් නො ලැබිණි.
මේ ලියන අප ද අරක වෙනුවෙන්, මේක වෙනුවෙන් ආණ්ඩුවට සහයෝගය දෙනවා යයි බොහෝ අය අවලාද නැගූ හ. එහෙත් අප ඔවුන්ගෙන් කිසිවක් ඉල්ලා නැතුවා පමණක් නොව මේ ආණ්ඩුවේ කිසිවෙකු ‘මචං උඹලා කරගෙන යන දේවලට අපෙන් උදව්වක් ඕනැද?’ කියා අහන්නට තරම්වත් බුද්ධිමත් වී නැත. ලොව වටා සැරිසරමින්, ගජමිතුරන් හා නෑයන් සමග කමින් බොමින් සතුටින් ජීවත් වන මෛත්‍රීපාලලා, වික්‍රමසිංහලා කෙළවා ගන්නේ අන් කිසිවකින් නොව රටේ අනාගතය මිස අන් පටු අරමුණුවලින් තොරව ආණ්ඩුවට සහාය දෙන බලවේගය තේරුම් නො ගැනීම නිසා ය.
අප වැඩ කරන්නේ අරමුණක් වෙනුවෙන් ය යන්න බොහෝ දෙනෙකුට තේරුම් ගන්නට බැරි වී ඇත. ඒ තරමට මෙම දූෂිත මානසිකත්වය මුල් විහිදී ගොසිනි. එහෙත්, අපි තවමත් ස්වේච්ඡාවෙන් මේ ආණ්ඩුවට කොන්දේසි සහගතව සහාය දෙන්නෙමු. ඒ ඇයි ද යන්න පැහැදිලි කළ යුතු ය. පළමු හේතුව අප මෙම රජයේ මූලික ආර්ථික දැක්ම පිළිගන්නා හෙයිනි. තව දුරටත් රාජ්‍ය මූලික ආර්ථිකයක් ඔස්සේ ලංකාවට ඉදිරියට යා නො හැක. ව්‍යවසායකත්වයට හා වැඩ කරන ජනයාට නිසි තැන දීමට රජය යොමු කළ යුතු ය.
එසේම, වර්තමානයේ බලය සම්බන්ධයෙන් තිබෙන විකල්පය වන්නේ අන් කිසිවක් නොව රාජපක්ෂ පවුල් පාලනය පමණක් වීමයි. ඔවුන්ට ද තිබෙන්නේ මේ ආර්ථික උපායමාර්ගය ම පමණක් බැවින් අපට ඔවුන් සමග සුවිසල් ගැටලුවක් ද නැත. යුද අපරාධ හෝ දූෂණ සම්බන්ධායෙන් ඔවුන් පමණක් හිරේ යැවිය යුතු ය යන අදහසේ ද අප නැත. මේ රට ඔවුන්ට ඇති තරම් අවස්ථාව දුන් අතර ඔවුහු ඒවා භාවිතා කිරීමට අසමත් වූ හ. යුද්ධයේ අවසානයෙන් පසු වකවානුවේ රටේ සිදු කළ සංවර්ධනය ඔස්සේ ආර්ථික හා සමාජ ස්ථාවරත්වය ඇති කිරීමට ඔවුහු කණගාටුදායක ලෙස අසමත් වූ හ.
වර්තමාන පාලනය ප්රජාතන්ත්රවාදය, ආර්ථික නියාමනය, සමාජ සංහිඳියාව වැනි බොහෝ පැතිවලින් රාජපක්ෂ පාලනයට වඩා ඉදිරියෙන් සිටියි.
ඔවුන්ගේ අඩුපාඩු එමට ය. එහෙත්, අපේ සහාය නම් හිමි වන්නේ මෙතැනින් ඉදිරියට යාමට මිස ආපසු යාමට නො වේ. රටට ආදරයක් ඇති අය කරුණාකර යල් පැන ගිය විසඳුම් ඉදිරිපත් නො කරන්න. අලුතින් සිතන්න.