ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ගාල්ල ක්‍රීඩාංගනයේදී පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය ලකුණු 304 ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට විරාට් කෝලි ප්රමුඛ ඉන්දීය කණ්ඩායම සමත් වූහ. මෙ අනුව තරඟ 3 කින් සමන්විත තරඟ මාලාව 1-0 ලෙස පෙරමුණ ගැනීමට ඉන්දීය පිල සමත් විය.
ආරම්භක දිනයේ සිටම සෑම අංශයකින්ම ඉරිදියෙන් සිටි ඉන්දීය කණ්ඩායම තරඟය පුරා ශතක 3 ක් රැස්කරගත් අතර ඉන් එක් ශතකයක් ද්විත්ව ශතකයකට ඉතා ආසන්නයටද (දවාන් 192) පැමිණි අතර (පුජාරා 153) ශතක 2ක් 150 ඉක්මවා ගියේය. අනෙක් ශතකය නොදැවී 103 කි. ඊට අමතරව අර්ධ ශතක 3 කි. නමුත් ශ්‍රී ලංකා ඉනිම පුරාම ඇත්තේ අර්ධ ශතක 5ක් පමණි. ශ්‍රී ලංකා පිලේ ඉහළම බලාපොරොත්තුව වූ නායක රංගන හේරත් සමස්ත තරඟයේම දවාගත්තේ එක් කඩුල්ලක් පමණි.
කෙසේ වෙතත් පළමු ඉනිමේදී දිල්රුවන් පෙරේරාගේ ඉනිම ඉතාමත් පැසසිය යුතු අතර කඩුලු ඉතිරිව තිබුණානම් ඔහුගේ ශතකය සම්පුර්ණ වීමට ඉඩ තිබුණි. සමස්ථ තරඟයේම ඔහු නොදැවී සිටියේය. ඒ පළමු ඉනිම නොදැවී 92 හා දෙවන ඉනිම නොදැවී 21 ලෙසය. එසේම දෙවැනි ඉනිමේදී ආරම්භක පිතිකරු දිමුත් කරණාරත්න පන්දු 208 පුරා කඩුල්ල රැකගනිමින් ලකුණු 97 ක් රැස්කර ගත්තත් ශතකය දක්වා යෑමට තරම් වාසනාවන්ත නොවීය. අශ්වින් ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් ඔහු දැවී ගියේය.
අසේල ගුණරත්න ශ්‍රී ලංකා පිලට අහිමි වීම ඉතාමත් අවසනාවන්තම සිද්ධියයි. ඔහු අවස්ථානුකූල පන්දු යවන්නෙක් මෙන්ම ඉතා සටන්කාමී පිතිකරුවෙකි. ඔහුගේ අබාධය හේතුවෙන් ශ්‍රී ලංකා පිළ තරඟ කළේ ක්‍රීඩකයන් 10 න් පමණක් බව අමතක නොකළ යුතු අතර ගුණරත්න යනු ක්‍රීඩකයන් දෙදෙනෙකුගේ වටිනාකමක් ඇති ක්‍රීඩකයෙකි. එම නිසාම ඉන්දියානු පිලට පළමු ඉනිමට දවාගැනීමට සිදුවුයේ කඩුලු 9ක් පමණක් වූ අතර දෙවැනි ඉනිමේදී නායක රංගන හේරත් ආබාධයක් හේතුවෙන් පිතිකරණයට නොපැමිණි අතර ඉන්දියානුවන්ට දවාගැනීමට අවශ්‍ය වූයේ කඩුලු 8ක් පමණි.
සමස්තයක් වශයෙන් ඉන්දීය පිල ලොව අංක 01 කණ්ඩායම ලෙසම තුන් ඉරියව්වෙන්ම ලංකාවට වඩා ඉදිරියෙන් සිටිබව පිළිගත යුතු අතරම ශ්‍රී ලංකා කණ්ඩායමට අවාසනාවද තරඟය පුරා ක්‍රීඩා කළ බවක්ද පෙනෙන්නට තිබුණි.
කෙසේ හෝ වේවා ප්‍රතිපලය නම් ඉන්දියාව, ඉන්දියාවේදී හැර ලබාගත් ඉහලම ලකුණු පරතරයකින් ලබාගත් ජයක් ලෙස මෙම ජයග්‍රහණය ඉතිහාසයට එක්වන අතර මීට පෙර එංගලන්තයේදී , එංගලන්තයට එරෙහිව 279 ක පරතරයකින් ලබාගත් ජය එම වාර්තාවට හිමිකම් කී අතර ශ්‍රී ලංකාව ලද දැවන්තම පරාජය (ලකුණු පරතරය මත) මෙය විය. මීට පෙර 1994 දී පාකිස්ථානය වෙතින් ලකුණු 301 ක පරාජයක් ශ්‍රී ලංකාව අත්කරගෙන තිබුණි.