සොරකමක් සිදු කරද්දී අතටම හසුවූ යෞවනයෙකුට ත්‍යාගයක් දී නිදහස් කළ පොලිස් කොස්තාපල්වරයෙකු පිළිබඳව කැනඩාවේ ටොරොන්ටෝ නුවරින් වාර්තා වෙයි.
18 හැවිරිදි මෙම යෞවනයා වෙළඳ සැලට ඇතුළු වී ඇත්තේ ඇඳුම් කට්ටලයක් සොරා ගැනීමටය. අවාසනාවට මෙම සොරකම අතටම හසුවී තිබේ.
මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කොස්තාපල් නිරාන් ජෙයනේසන් වහා එතැනට පැමිණියේය.
නමුත් එම සොරකමේ පසුබිම් කතාව දැනගත් පසු සොරකම සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම පසෙක ලා ඔහුට ත්‍යාගයකින් සංග්‍රහ කිරීමට මෙම පොලිස් කොස්තාපල්වරයා පියවර ගත්තේය.
සොරකමට හේතුව
මෙම යෞවනයා ඇඳුම් කට්ටලය සොරාගෙන ඇත්තේ තමන් ඉල්ලුම් කළ රැකියාව වෙනුවෙන් පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණය සඳහා ඇඳගෙන යාමට ය.
පොලිස් කොස්තාපල්වරයා වෙළඳ සැලේ අයකැමි වෙත පිය මැන්නේ එම ඇඳුම් කට්ටලය වෙනුවෙන් මුදල් ගෙවීමටය. අනතුරුව එම ඇඳුම් කට්ටලය යෞවනයාට පරිත්‍යාග කළේය.
18 හැවිරිදි තරුණයා සම්මුඛ පරීක්ෂණයෙන් සමත්වී ඇති බව පසුව මෙම පොලිස් කොස්තාපල්වරයා හෙළිදරව් කර තිබේ.
“එයා සඳුදා ඉඳල වැඩට යනවා. මට හරිම සතුටුයි” කොස්තාපල් ජෙයනේසන් පැවසීය.
“මේ තරුණයා ජීවත් වෙලා තියෙන්නේ බොහෝ දුෂ්කරතා මැද්දේ. රස්සාවක් හොයාගෙන තමන්ගේ පවුලට ශක්තියක් වෙන්න ඔහු උත්සාහ කරනවා.
“ඔහුට ඒ සඳහා අවශ්‍ය දේවල් සපයා ගන්නවත් වත්කමක් තිබුනේ නැහැ. ඔහුට තිබුනේ කොහොම හරි ඒ රස්සාව ලබා ගැනීමේ අධිෂ්ඨානය. මම හිතන්නේ ඇත්ත වශයෙන්ම ඔහුට අත්වැරදීමක් සිදුවුනා කියල.” පොලිස් කොස්තාපල්වරයා තවදුරටත් කියා සිටියේය.
තම පියා රෝගාතුරව පසුවන බවත් ඒ හේතුවෙන් තම පවුල දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින බවත් මෙම තරුණයා ඔහුට පවසා තිබේ.
කොස්තාපල් ජෙයනේසන් කියා සිටියේ “ඔවුන්ට උදව් කිරීමට ඉදිරිපත් වූ මිතුරන්ට ස්තුතිවන්ත වෙන්න අද මේ තරුණයාගේ පියාටත් රැකියාවක් ලැබිල” යනුවෙනි.
පොලිස් ප්‍රධානියා
පොලිස් කොස්තාපල්වරයාගේ සේවා ස්ථානාධිපති සාජන් පෝල් බොයිස් බීබීසීයට කතා කරමින් තම සගයාගේ ක්‍රියාවට ප්‍රශංසාව පළ කළේය.
“ඒ තරුණයාව අත්අඩංගුවට ගැනීමෙන් කිසිවෙකුට යහපතක් වෙන්නේ නැහැ. මම මේ පුවතට දැක්වුයේ ඉතාම ධනාත්මක ප්‍රතිචාරයක්. මගේ නිලධාරියා ගත් ක්‍රියාමාර්ගය නිසා ප්‍රශ්න සියල්ලම විසඳුනා.
“පොලිස් නිලධාරීන් ජනතාවට පරමාදර්ශී චරිත බව ඔහු ඔප්පු කළා.” යැයි සාජන් පෝල් බොයිස් පැවසීය.
(BBC)