Breaking News
Home > වෙනත් > ජනාධිපතිගේ කඩුවෙන් කැපෙන්නේ හොරු, සල්ලාලයෝ, මැරයෝ නෙවෙයි, ජනතා අයිතීන්. – පුබුදු ජයගොඩ කියයි.

ජනාධිපතිගේ කඩුවෙන් කැපෙන්නේ හොරු, සල්ලාලයෝ, මැරයෝ නෙවෙයි, ජනතා අයිතීන්. – පුබුදු ජයගොඩ කියයි.

 Pubudu_Jayagoda
ජනාධිපතිවරයා තමන් සතුව කඩුවක් ඇති බවත් එයින් කවුරුන් කැපේදැයි කිව නොහැකි බවත් ජනාධිපතිවරයා පැවසුවද, එයින් කැපෙන්නේ ජනතා අයිතීන් පමණක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ  පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ  නුවරඑළිය බ්ලැක්පූල්හි පවතී ජන හමුවකදීය. එහෙදීඔහු තව දුරටත් මෙසේ පැවසීය.
‘තමන්ගේ අතේ කඩුව තියෙනවා, ඒකෙන් කවුරු කැපෙයිද කියලා කියන්න බෑ කියලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පසුගිය දවස් වල කිව්වා. ජනතාව බලාගෙන හිටියා මේ කඩුවෙන් හොරු, මැරයෝ, සල්ලාලයෝ සහ දුශිතයෝ කපන තුරු. ඒත් ඒ කඩුව වනනවා පෙනෙනවා විතරයි, ඔය කියපු කවුරුත් කැපෙන බවනම් පෙනෙන්නේ නෑ. කපනවානම් ජනාධිපතිවරයාට මුලින්ම කපන්න පුළුවන් හොරුන්ව, ජනතා මුදල් මංකොල්ල කාපු දුෂිතයන්ව. කෝ..? අවුරුදු තුනක් ගියා, පරණ ආණ්ඩුවේ හොරුත් යහතින් ඉන්නවා, අලුත් ආණ්ඩුවේ හොරුත් යහතින් ඉන්නවා. ගෙවුණු අවුරුදු තුනේම කඩුව තිබුනේ කොපුවේ. මහබැංකුවේ බැඳුම්කර නිකුතුවේ මහා වංචාව ගැන මේ වනවිට මුළු රටම විතරක් නෙවෙයි, ලෝකෙත් දන්නවා. ඒ වංචාවට අනුබල දුන්න, ආශීර්වාද කළ, හොරුන්ට ආරක්ෂාව දුන්, ඒ හැම එකටම වැඩියෙන් ඒ හොරකමට නියෝග දුන් දේශපාලන තන්ත්‍රය ගැන අද කවුරුත් නිහඬයි. නිලධාරීන් ගැන කියනවා. නිලධාරීන්ට අණ දුන්නේ කවුද? මේකේ දේශපාලන වගකීම කාටද කියලා ජනාධිපතිවරයා කියන්නෙත් නෑ, කොමිෂන් වාර්තාවෙත් නෑ, කෝප් කමිටු වාර්තාවෙත් නෑ. ජනාධිපති කියන්නේ අගමැති වගකිව යුතු නෑ කියලා. වංචාව සිදුවුණු කාලයේ මහබැංකුව තිබුනේ රනිල් වික්‍රමසිංහ මහත්තයා යටතේ. බැඳුම්කර නිකුතුව සඳහා වැදගත් තීරණ ගණනාවක් අරන් තියෙන්නේ මහබැංකු මූල්‍ය මණ්ඩලය නෙවෙයි, කවුද එහෙනම් අණ දුන්නේ? සිද්ධියෙන් පස්සේ තමන්ගේ පාසල් මිතුරන් තුන් දෙනෙකුගේ කමිටුවක් දාලා හොරකම වහන්න හැදුවේ කවුද? ඩිව් ගුණසේකර කෝප් කමිටු වාර්තාව එනකොට ඒක පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීමක් කියලා ගෝරනාඩු කළේ කවුද? වාර්තාව සභාගත කරනකොට පාර්ලිමේන්තුව විසිරුවා හරින තීරණය කාගේද? මේ වංචාවේ දේශපාලන වගකීම කාගේද කියලා දැන ගන්න රහස් පරීක්ෂකයෝ වෙන්න ඕන නෑ,පොඩි ළමයෙකුටත් තේරෙනවා. ඒ වගකිවයුත්තන්ව ඔය කඩුවෙන් කැපෙන්නේ නෑ, මෙච්චර කලක් කොපුවේ තිබුණු කඩුව දැන් එකපාරටම වනන්නේ මැතිවරණ ගුන්ඩුවක් විදියට විතරයි කියලා අපි වගකීමෙන් කියනවා. ඕක හොරු කපන කඩුවක් නෙවෙයි.
පසුගිය දවස්වල තිස්සමහාරාමයේ කුඩා දැරියක් සල්ලාලයන් පිරිසක් විසින් අතවරයට ලක් කරලා ඒ දැරිය සියදිවි නසා ගත්තා. ඒ අපරාධය කළේ තිස්සමහාරාමයේ එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් තුන්දෙනෙක්. පොලීසියෙන් අත්අඩංගුවට ගත තිදෙනාම මේ මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂයට වැඩ කරන අය. ප්‍රදේශයේ එජාප කාර්යාලයක් තිබුනේ ඒ එක අයෙකුගේ ගෙදර. සජිත් ප්‍රේමදාස මහත්තයා සල්ලි දීලා ඒ දැරියගේ ඥාතීන් අවනත කර ගන්න උත්සාහ කර  තිබුනා. මේ සම්බන්ධයෙන් ජනාධිපති නිහඬයි. අර කඩුවත් වැඩකරන්නේ නෑ. කඩුවෙන් කැපෙන්නේ සල්ලාලයෝ, දුෂකයෝ නෙවෙයි කියලා පැහැදිලියි.
ඒ වගේම ඌව මහඇමතිවරයා විදුහල්පතිවරියක් දන ගස්වා අපකීර්තියට පත්වුනා. කලින් මහින්ද රාජපක්ෂ පාලන සමයේ මහින්ද මහත්තයාගේ ගෝලයෙක් පුත්තලමේදී ගුරුවරියක් දන ගැස්සුවා.  අපේ රටේ ජනතාව ඒ වගේ වැඩ නවත්වන්න කියලා  කළා. මහින්ද වෙනුවට මෛත්‍රී ආවා. අද මොකද වෙලා තියෙන්නේ? මෛත්‍රීපාල මහත්තයාගේ ගෝලයා විදුහල්පතිවරියක් දන  ගස්වනවා. මූණු මාරු කරලා වැඩක් නෑ කියලා අපි ජනාධිපතිවරණය කාලේ කීවේ ඒකයි. මැරයන්ගේ මූණු මාරු වෙනවා විතරයි. මැර දේශපාලනය එහෙමමයි. කෝ ඒ ඌවේ මාරයාට එරෙහිව කඩුව වනුවාද? නෑ, කඩුවෙන් ඒ වගේ මැරයන් කැපෙන්නේ නෑ.
විධායක ජනාධිපතිවරයාගේ ඔය කියන කඩුවෙන් හොරු කැපෙන්නෙත්  නැත්නම්, සල්ලාලයෝ කැපෙන්නෙත් නැත්නම්, මැරයෝ කැපෙන්නෙත් නැත්නම්, කැපෙන්නේ කවුද? ආණ්ඩුව කඩුව නිදැල්ලේ වනමින් කපන්නේ අපේ රටේ පහල පාන්තික ජනතාව. වැඩකරන ජනතාව. රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප කඩුවට කැපෙනවා. පෞද්ගලික අංශයේ සේවකයාගේ පැය අටේ වැඩ අයිතිය කඩුවට කැපෙනවා. ඒ සඳහා සාප්පු හා කාර්යාල සේවක පනත සංශෝධනය කරන්න යනවා. ගොවියාගේ ඉඩම් අයිතිය කඩුවට කැපෙනවා. අද මොණරාගල දිස්ත්‍රික්කයේ ඇතිමලේ සහ මාලිගාවිල ප්‍රදේශ වල අක්කර දහස් ගණනින් පාරම්පරික ගොවි ඉඩම් බලහත්කාරයෙන් උදුරාගෙන සමාගම් සතු  කරනවා. ඒ කඩුවෙන් පාසල් සිසුන්ගේ නිළ ඇඳුමේ පෙළ පොතේ අයිතිය කැපෙනවා. වවුචර් කියලා කරන මගඩිය ඒ කැපිල්ල ඇර වෙන මොකක්ද? එක එක සෞඛ්‍ය රක්ෂණ ප්‍රෝඩාවල් හරහා නිදහස් සෞඛ්‍ය සේවයට කඩු පහර එල්ල වෙනවා. රාජ්‍ය බැංකු, වරාය, ගුවන් සේවය වගේ පොදු දේපල වලට කඩුව එල්ල වෙලා තියෙන්නේ. ඇඟිලි සලකුණු දත්ත බැංකුව හදන අංගුලිමාල පනත මගින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ඒ කඩුවෙන් කපනවා. ඔය විදියට ගියාම කඩුවෙන් කපන්නේ ජනතාව.
ඒ නිසා ජනතාව මැතිවරණ වේදිකා වලයි, මාධ්‍ය වලයි යක්න බොරු කඩු හරඹ සංදර්ශන බලබලා ඉන්නේ නැතිව ආත්මාරක්ෂාව වෙනුවෙන් සටනට බහින්න. අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂය මේ විදියට ගමින් ගමට එන්නේ ඡන්දේ හිඟා කන්න නෙවෙයි, ඔබව සටන් බිමට කැඳවන්න. අලුතින් අයිතීන් දිනා ගැනීම කෙසේ වෙතත් අඩුම ගානේ ආත්මාරක්ෂාව සඳහාවත් සටන් කරන්න කියලා ඔබට කියන්න. මොකද පාලකයන්ගේ කඩුවෙන් කැපෙන්න නියමිත ජනතාවගේ බෙල්ල.’

About LNC

Check Also

Ravi-K

රවීට මොකද වෙන්නේ?

  හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක එක්සත් ජාතික පක්ෂයේ දරන තනතුරුවලින් ඉවත් කිරීමට පක්ෂය තීරණය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *