අගෝස්තු 25 වෙනිදා පටන් මියන්මාරයේ සිට බංග්ලාදේශය වෙත පළා ගොස් ඇති රෝහින්ග්‍යා මුස්ලිම් වැසියන් සංඛ්‍යාව ලක්ෂයකට අධිකය.
මියන්මාරයේ පොලිස් මුරපොළවල් වෙත ප්‍රහාර එල්ල කළ රෝහින්ග්‍යා කැරලිකරුවන්ට එරෙහිව එරට හමුදා විසින් පසුගියදා මෙහෙයුමක් ආරම්භ කරනු ලැබීය.
ඒ සමග හටගත් ප්‍රචණ්ඩ ක්‍රියා හමුවේ රෝහින්ග්‍යා සාමාන්‍ය වැසියෝ සිය ගම්බිම් හැර පළා යති.
මේ අතර සිය ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වදින බව මියන්මාරයේ රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාවට අයත් කැරලිකරුවෝ පවසති.
කවුද මේ කැරලිකරුවන්?
‘අරකන් රෝහින්ග්‍යා ගැලවීමේ හමුදාව‘ (Arakan Rohingya Salvation Army) හෙවත් ‘අර්සා‘ (Arsa) යනු මියන්මාරයේ උතුරු දිග කලාපයේ ක්‍රියාත්මක කැරලි කණ්ඩායමකි.
රඛයින් ප්‍රාන්තයේ වෙසෙන රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාව නිතර වධ හිංසාවලට මුහුණ දෙති.
රෝහින්ග්‍යා වැසියන්ට එරට පුරවැසිභාවය ලබා දීම ප්‍රතික්ෂේප කරන මියන්මාර ආණ්ඩුව විසින් ඔවුන් සලකනු ලබන්නේ බංග්ලාදේශයෙන් පැමිණි සංක්‍රමණික ජන කොට්ඨාසයක් ලෙසය.
පසුගිය වසරේදී ද ජන කණ්ඩායම් අතර කලින් කල ගැටුම් ඇති වූ අතර රෝහින්ග්‍යා සන්නද්ධ කැරලිකරුවන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ ගොස් ඇත.
‘හරකහ් අල් – යකින්‘ඇතුළු වෙනත් නම් වලින් ද මීට පෙර හඳුන්වන ලද ‘අර්සා‘ කණ්ඩායම විසින් පොලිස් සහ වෙනත් ආරක්ෂක අංශ සාමාජිකයන් විසි දෙනෙකුට අධික සංඛ්‍යාවක් ඝාතනය කර තිබේ.
අලුතින් ගැටුම් ඇති වූයේ ඇයි?
අගෝස්තු 25 වෙනිදා රඛයින් ප්‍රාන්තයේ පොලිස් මුරපොළවල් වෙත ඔවුන් එල්ල කළ ප්‍රහාරයෙන් 12 දෙනෙකු මරණයට පත් විය. එය ඔවුන් විසින් මේ දක්වා එල්ල කරන ලද විශාලතම ප්‍රහාරයයි.
ඊට ප්‍රතිචාර වශයෙන් මියන්මාර ආරක්ෂක අංශ විසින් කැරලිකරුවන්ට එරෙහිව මහා පරිමාණ මෙහෙයුමක් දියත් කරනු ලැබීය.
‘අර්සා’ නායකයන් විදේශයක දී පුහුණුව ලබා ඇති බවත් එය ත්‍රස්තවාදී කණ්ඩායමක් බවත් මියන්මාර ආණ්ඩුව පවසයි.
එමෙන්ම ජාත්‍යන්තර අර්බුද නිරාකරණය කිරීම සඳහා කටයුතු කරන ‘ඉන්ටර්නැෂනල් ක්‍රයිසිස් ගෘප්’ ආයතනය පවසන පරිදිදී ද ‘අර්සා’කැරලිකරුවන් විදේශයක දී පුහුණුව ලබා ඇත.
2016 වසරේ දී වාර්තාවක් නිකුත් කරමින් එම ආයතනය කියා සිටියේ සෞදි අරාබියේ වෙසෙන රෝහින්ග්‍යා ප්‍රජාව විසින් ‘අර්සා’ කණ්ඩායමට නායකත්වය ලබා දෙන බවය.
එම කණ්ඩායමේ නායක අතා උල්ලා, පාකිස්තානයේ උපත ලබා සෞදි අරාබියේ හැදී වැඩුණු රෝහින්ග්‍යා මුස්ලිම්වරයෙකු බවත් ‘ඉන්ටර්නැෂනල් ක්‍රයිසිස් ගෘප්’ ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.
මේ අතර ‘අර්සා’ කණ්ඩායමේ ප්‍රකාශකයෙකු ‘ඒෂියා ටයිම්ස්’ වෙත පවසා තිබුණේ තම කණ්ඩායම ජිහාඩ් සංවිධාන සමග සබඳතා නොපවත්වන බවය.
2012 වසරේ හටගත් ප්‍රචණ්ඩ ක්‍රියා හමුවේ කෝපයට පත් තරුණ පිරිස් රෝහින්ග්‍යා ප්‍රජාවගේ අනන්‍යතාව දිනා ගැනීම සඳහා පමණක් සටන් වදින බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබිණි.
‘අර්සා’ සතු ආයුධ මොනවාද?
පොලිස් මුරපොළවල් වෙත එල්ල කළ ප්‍රහාරය සඳහා කැරලිකරුවන් පිහි සහ ඔවුන් විසින්ම සකසා ගන්නා ලද බෝම්බ යොදා ගෙන ඇතැයි මියන්මාර ආණ්ඩුව පවසයි.
තමන් විසින්ම සකසා ගන්නා ලද ආයුධ ‘අර්සා’ කණ්ඩායම ප්‍රධාන වශයෙන් යොදා ගන්නා බව පෙනෙන්නට ඇතත් ඔවුන් ගැටුම් සඳහා සම්පුර්ණයෙන්ම ආධුනිකයන් නොවන බව ‘ඉන්ටර්නැෂනල් ක්‍රයිසිස් ගෘප්’ ආයතනය නිකුත් කළ වාර්තාවක දැක්වේ.
ඇෆ්ගනිස්ථානය ඇතුළු වෙනත් ගැටුම් පවතින රටවල කැරලිකරුවන්ගේ සහාය ඔවුන්ට ලැබෙන බවට සාක්ෂි ඇති බවත් එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් විය.
අවුන් සාන් සුචී සහ ජාත්‍යන්තරය
රෝහින්ග්‍යා ප්‍රජාවට ආරක්ෂාව සැපයීමට අපොහොසත්වීම පිළිබඳව මියන්මාරයේ මානව හිමිකම් සම්බන්ධ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය පසුගියදා එරට නිල නොවන නායිකා අවුන් සාන් සුචී දෝෂදර්ශනයට ලක් කළාය.
රඛයින් ප්‍රාන්තයේ තත්ත්වය ඉතාමත් බරපතළ බව කී විශේෂ නියෝජිතවරිය එම තත්ත්වය පාලනය කිරීම පිණිස අවුන් සාන් සුචීට මැදිහත්වීමට කාලය එළඹ ඇති බව සඳහන් කළාය.
අලුතින් හටගත් ගැටුම් සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් මියන්මාරයේ නිල නොවන නායිකාව අවුන් සාන් සුචි කියා සිටියේ ‘රඛයින් පළාතේ අර්බුදය සාවද්‍ය තොරුතුරු පැතිර යාම මගින් විකෘති භාවයට පත්ව’ ඇති බවය.
ත්‍රස්තවාදීන්ගේ අභිලාෂයන්ට උඩගෙඩි දෙන අරමුණින් පතුරුවා හරින ව්‍යාජ ප්‍රවෘත්ති (Fake News) මගින් රටේ ප්‍රජා කණ්ඩායම් අතර ගැටුම්කාරී තත්ත්වයක් අවුළුවාලමින් ඇති බව ඇයගේ කාර්යාලය මගින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙයි.
‘නොසලකා හැරීම’
පරම්පරා ගණනාවක සිට තමන් මියන්මාරයේ වෙසෙන බව පවසන රෝහින්ග්‍යා ප්‍රජාව තමන් නොසලකා හැර ඇති බවට මැසිවිලි නගති.
2012 වසරේ රඛයින් ප්‍රාන්තයේ හටගත් ගැටුම් හමුවේ සිය ගම්බිම් හැර යාමට සිදු වූ රෝහින්ග්‍යා වැසියන් බොහෝ දෙනෙක් තාවකාලික කඳවරු තුළ දිවි ගෙවති.
මියන්මාරයේ දුගී ප්‍රාන්තවලින් එකක් වන රඛයින් ප්‍රාන්තයේ දිවි ගෙවන ඔවුහු රැකියා ලබා ගැනීමේ දී දුෂ්කරතාවලට මුහුණ දෙති.
2016 වසරේ හට ගත් ප්‍රචණ්ඩ ක්‍රියා හමුවේ මියන්මාර ආණ්ඩුවේ හමුදා විසින් ස්ත්‍රී දූෂණ, ඝාතන, ගම්මාන ගිනි තැබීම සහ වධහිංසා පමුණුවන ලද බවට රෝහින්ග්‍යා වැසියෝ චෝදනා කළහ.
මියන්මාර ආණ්ඩුව එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.
ශ්‍රී ලංකාවේ විරෝධතා
මේ අතර මියන්මාරයේ රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කරන බව පවසමින් ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනතාව පසුගිය සැප්තැම්බර් 01 වෙනිදා විරෝධතා ව්‍යාපාරයක නිරත වූහ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තර ප්‍රජාව මැදිහත් වී රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්ගේ ආරක්ෂාව තහවුරු කළ යුතු බව විරෝධතාකරුවෝ එහිදී කියා සිටියහ.
ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ද මියන්මාර රජයට පීඩනයක් එල්ල කළ යුතු බව ඔවුහු පැවසූහ.
කාත්තන්කුඩි, ඔඩ්ඩමාවඩි, අක්කරෛපත්තු සහ කින්නියා යන ප්‍රදේශවල පැවති විරෝධතාවලට විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
(BBC ඇසුරෙනි)