ඊයේ (10) දින කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 221.24 ක දැවැන්ත කඩා වැටීමක් වාර්තා කළේය.
දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 5,121.91 ක් වාර්තා වූයේ පූර්ව ගනුදෙනු දිනට සාපේක්ෂව 4.14% ක පහළ යාමක් වාර්තා කරමිනි. කොළඹ කොටස් වෙළෙඳපොළ දත්ත වාර්තා අනුව තනි දිනක් තුළ සියලු කොටස් මිල දර්ශකය පහළ ගිය දෙවැනි විශාලතම අගය අද දින වාර්තා වී තිබේ.
මීට පෙර 2010 වසරේ ඔක්තෝබර් 12 වන දින සියලු කොටස් මිල දර්ශකය ඒකක 300.59කින් පහළ ගොස් තිබෙන අතර එදිනට පසු අද දින වාර්තා වූ ඒකක 221.24 ක පහළ යාම තනි ගනුදෙනු දිනයක් තුළ ඉතිහාසයේ දෙවැනි විශාලතම පහළ යාම ලෙසින් සටහන් වේ.
මේ අතර S&P SL20 දර්ශකය ඒකක 117.86 කින් දිනය තුළ පහළ ගිය අතර දිනය අවසානයේ දී එම අගය ඒකක 2,361.75 ක් ලෙසින් වාර්තා විය.
මෙය පූර්ව ගනුදෙනු දින හා සැසඳීමේ දී 4.75%ක පහළ යාමක් වේ.