සොරගුනේ වේලිඔය අමුණේ සිදුකරගෙන යන මහා පරිමාණ අනවසර මැණික් ගැරීම් හා වැලි ගොඩදැමීම නිසා සොරගුනේ වනාන්තරයේ විනාශය ආරම්භ වී ඇති බව පරිසර හා සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානය පවසයි.
සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානය සමග ප්‍රදේශයේ ගොවි ජනතාව පවසන ආකාරයට මෙම අනවසර මැණික් ගැරීම් හා වැලි ජාවාරම සිදුවන්නේ ආණ්ඩුවේ දේශපාලන බලවතුන්ගේ මැදිහත්වීමෙනි. එම හේතුව නිසා මේ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසිය මෙන්ම ප්‍රාදේශීය පරිපාලන නිලධාරින් මැලිවන බවක් දක්නට ඇත. මෙම ක්‍රියාදාමය තුළ වනාන්තර විනාශය මිනිස් ජිවිතවලටද බලපා ඇති අයුරු පරිසර හා සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානය විසින් අනාවරණයකර තිබේ.
සොරගුනේ වනාන්තරය විනාශයට ඇද දමමින් සිදු කැරෙන මැණික් හා වැලි ජාවාරමට අමතරව වේලිඔය අමුණ පතුළෙහි තිබෙන වැලි නිධිය ගම්පහ උඩුගම්පල ප්‍රදේශයේ පිහිටි පුද්ගලික සමාගමක් යන්ත්‍ර සූත්‍ර යොදා ගොඩ දමන්නේයැයි රවින්ද්‍ර කාරියවසම් කියයි. මේ විනාශකාරී අනවසර වැලි ගොඩ දැමීමටද අවසරය හා බලය ලබා දී තිබෙන බවට චෝදනා ලබන්නේ උඩුගම්පල ප්‍රදේශයේ පදිංචි ආණ්ඩුවේ බලවතෙකි.
2009 වසරේදී සොරගුනේ වනාත්තරය තුළ කාමර 2000 කින් යුත් හෝටලයක්, ගොල්ෆ් පිට්ටනියක් පමණක් නොව කල්තොට දක්වා මහා මාර්ගයක් ඉදිකිරීමට එවකට සිටි ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා ලෙස වත්මන් ජනාධිපති සහ ඔහුගේ මිතුරෙක් සැලසුම් කර තිබුනේ යැයි රවින්ද්‍ර කාරියවසම් අතීත සිදුවීමක් සිහිපත් කරයි. නමුත් නැගී ආ ජනතා විරෝධය හමුවේ සියළු සැලසුම් හකුළා ගෙන ඇත.
මෙවර මහ මැතිවරණයෙන් පසුව නැවත ඉහත කි සැලසුම් ක්‍රියාත්මක විය හැකියැයි පරිසර හා සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ රවින්ද්‍ර කාරියවසම් පවසයි.