මහනුවර හන්තාන වතුයායේ ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් ඉඩම් අක්කර 311ක් පෞද්ගලික අංශයට සහ විවිධ පුද්ගලයන්ට බදු දී ඇති බව වාර්තා වේ.
කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති වාර්තාවකට අනුව හන්තාන වතුයායේ ගලහ කොටසේ අක්කර සීයක් රුපියල් අට ලක්ෂ හතළිස් දහසක වාර්ෂික බදු මුදලකට ගිහාන් සෝමසිරී නමැත්තකුට වසර තිහක් සඳහා (2011) දී ලබාදී ඇත. අක්කර පනහක් රුපියල් හාර ලක්ෂ පනස් දහසක වාර්ෂික බද්දකට කොමඩිටි අයිලන්ඩ් නමැති පුද්ගලික සමාගමකට අවුරුදු තිහකට ලබා දී තිබේ. තවත් අක්කර දහයක් රුපියල් එක් ලක්ෂ අසූ දහසක සහ අක්කර 17 ක් රුපියල් තුන්ලක්ෂ හැත්තෑපන් දහසකට ඒ. කේ. ඩී. මුණිදාස හා රිසානා කෘෂිකාර්මික පුද්ගලික සමාගමට වර්ෂ තිහකට ලබා දී ඇත.
මීට අමතරව හන්තාන වතු යායේ තවත් අක්කර 134 ක් චාමිනී කිරිඇල්ල ( අක්කර 45 ක් හුවමාරු ඔප්පුවක් යටතේ) , ඉකොටෙල් පුද්ගලික සමාගම (අක්කර විස්සක් රුපියල් පහළොස් ලක්ෂ දහ අට දහස් හත්සිය පනහක වාර්ෂික බදු මුදලකට) සහ හිල්කන්ට්රි ෂූටින් ක්ලබ් ( අක්කර 04 ක් රුපියල් එකොළොස් දහස් දෙසිය තිස් දෙකක බදු මුදලකට), අක්කර 34ක් ජමිලා උම්මා නමැත්තියකට ලබා දී තිබේ.
හන්තාන තේ කම්හල රුපියල් එක්ලක්ෂ පනස් දහසක වාර්ෂික බදු මුදලකට ශ්රී ලංකා තේ මණ්ඩලයටද, හන්තාන ප්රාදේශීය කාර්යාලය රුපියල් ලක්ෂ නවයක වාර්ෂික බද්දකට ප්රීහාන් හෝල්ඩිංග්ස් ආයතනයටද ලබා දී ඇතැයි පාර්ලිමේන්තුවේ සභාගත කර ඇති වාර්තාවේ සඳහන්වේ.