මේ ආණ්ඩුව මැදපෙරදිග ඇතුලු විදේශ රටවල්වල අසරණ වුණු ශ්‍රී ලාංකික ජනතාව මෙරටට ගෙන්වනවා වෙනුවට ආණ්ඩුවේ ගජ මිත්රයින්ගේ ව්‍යාපාර දියුණු කරන්න සංචාරකයින් ගෙන්වන, රටේ කෙරෝනා පතුරුවන ව්‍යාපාරයක් ආරම්භ කරලා තියෙනවා. ඒවට අද රාජ්‍ය අනුග්‍රහය ලබාදෙනවා. එතෙර අපි සංවිධානය අවස්ථා ගණනාවකදී ආණ්ඩුව දැනුවත් කළා, ඒ ඒ රටවල්වල අසරණවෙලා ඉන්න ශ්‍රී ලාංකිකයින් පිළිබඳව. නමුත් ජනතාවට වගකියනවා කියපු, විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් රට විරුවන් ලෙස හඳුන්වපු මේ ආණ්ඩුව සෑහීමකට පත්විය හැකි කිසිදු පියවරක් ඔවුන් වෙනුවෙන් ගත්තේ නැහැ. 2020 මාර්තු දෙවැනි වසංගත තත්වය ඇතිවූ පසුව විදේශ රැකියාවල කාලය අවසන් වූ, වීසා අවසන් වූ, රැකියා අහිමි වූ, වැඩිදුර අධ්‍යාපනයට ගිය, රෝගී තත්වයන්ට ප්‍රතිකාර ගන්න ගියපු, විදේශ අධ්‍යාපනය නිමා කරපු, විසිට් වීසාවලින් තමන්ගේ ඥාතීන් බලන්න ගියපු, නීත්‍යානුකූල නොවන ආකාරයෙන් රැකියාවලට ගියපු විවිධ පිරිස් මාස 10ක්, අවුරුද්දක් වැනි කාලයක් ලංකාවට එන්න බලාගෙන ඉන්නවා. සමහරුන්ගේ අධ්‍යයන නිවාඩු ඉවර වෙලා. රැකියා ගිවිසුම් අවසන් වෙලා. විසිට් වීසාවල කාලය අවසන් වෙලා. මෙවැනි විවිධ අපහසුතාවයන්වලට ගැටලුවලට මුහුණ දෙන පිරිස් ලංකාවට එන්න බලාගෙන ඉන්නවා.
ආණ්ඩුවත් දන්නවා මෙම විදේශගත ශ්‍රමිකයින් වසරකට බිලියන 07කට ආසන්න මුදලක් විදේශ විනිමය ලෙස උපයලා දෙනවා කියලා. එවැනි ආදායමක් ලංකාවට ගෙනාපු පිරිස් ලංකාවට එන්න නැතිව වසරක් වැනි කාලයක් විවිධ රටවල අසරණභාවයට පත්වෙලා. මෙය ඉතා ඛේදවාචකයක්. ගුවන්තොටුපොළ විවෘත කළ පසුව කාගෝ ෆ්ලයිට්වලින් සුළු පිරිසකට ලංකාවට එන්න එක අවස්ථාවක් නිර්මාණය වුණා. ඒ වගේම විශේෂ ගුවන් යානයක් වෙන්කරගෙන පැමිණෙන්න අවස්ථාව ලබාගත හැකිව තිබුණා. එම අවස්ථාවනුත් නිර්මාණය වුණේ දේශපාලන ක්‍රියාවලියක් ඇතුළේ. ජනාධිපති ලේකම් කාර්යාලයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ගේ අනුමැතිය සහිතව, පුද්ගලික සම්බන්ධකම් හරහා තමයි ලංකාවට එන්න අවස්ථාව උදා වුණේ. ඒ වගේම ඒ පැමිණෙන පිරිස ජාවාරමකට අහුවුණා. කොරෝනා වංසගතය පාවිච්චි කරලා ආණ්ඩුවේ ගජමිත්‍රයෝ ටික දැවැන්ත ජාවාරමක් කළා. ගුවන් ටිකට්පත්වලින් ගසාකෑමක් සිදුවුණා. 50,000ට 60,000ට තිබුණු ගුවන් ටිකට්පත රුපියල් ලක්ෂයක් ලක්ෂ එකහමාර ඉක්මවා ගියා. නිරෝධායන බිස්නස් එකක් පටන් ගත්තා. ඒ අනුව ඔවුන්ගේ විවිධ කොන්දේසිවලට යටත් වෙන්න ලංකාවට පැමිණෙන පිරිස්වලට සිදුවුණා.
මැදපෙරදිග ගෘහ සේවයට යන කාන්තාවන් පිටරට යන්නේ ලංකාවේදී ණයවෙලා කියලා අපි කවුරුත් දන්නවා. එහෙම නැත්නම් දේපළ ඉඩකඩම් විකුණලා. ඔවුන්ට පළවැනි අවුරුද්ද වැඩ කරන්න වෙන්නේ ඒ ණය ටික ගෙවාගන්න. දැන් දෙවැනි අවුරුද්ද ලංකාවට එන්න සල්ලි හම්බකරන්න සිදුවෙලා. නමුත් සමහරුන්ට රැකියා අහිමිවෙලා. ඉන්න තැන් අහිමිවෙලා. කන්න දේවල් අහිමිවෙලා. සමහරු මහ පාරවල්වල දුක්විඳිනවා. සමහරු තානාපති කාර්යාල ළඟ නිදා ගත්තා. උද්ඝෝෂණ කළා. නමුත් එක අවස්ථාවකදීවත් මේ ආණ්ඩුව ජනතාවගේ දුක ගැන බැලුවේ නැහැ. දෙවැනි කොරෝනා රැල්ල ආරම්භ වුණු අවස්ථාවේදී ආණ්ඩුව කළේ තානාපති කාර්යාලවල ඉන්න සේවක පිරිස් ලංකාවට කැඳවන එකයි. සමහර කොන්සියුලර් කාර්යාල වහලා දැම්මා. පිටරටවල ඉන්න ලාංකිකයින් එක්ක සමීපව ගනුදෙනු කරන්න හිටපු අය ලංකාවට ගෙන්නා ගත්තා. ඉන් පසුව ශ්‍රී ලාංකිකයින් තවත් අසරණභාවයට පත්වුණා. සමහර තානාපති කාර්යාලවල තානාපතිතුමාගේ රියදුරා තමයි දුක්ගැනවිලි කියන දුරකතනයට පිළිතුරු දුන්නේ.
මාස 09කට පස්සේ ගුවන්තොටුපොළ විවෘත කළාට පස්සේ සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද? ආණ්ඩුව නිවේදන නිකුත් කරනවා විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් එන්න කැමති නම් ආණ්ඩුව නිර්දේශ කරන හෝටල්වල නිරෝධායනය වෙන්න ඕනෑ කියලා. ඒකට එකඟ වෙලා තමයි ගුවන් යානයට නගින්න ඕනෑ. අනිවාර්ය කොන්දේසිවලට යටත් වෙලා, පී.සී.ආර්.වලට ගෙවලා ආණ්ඩුව නියම කරන හෝටලයක ඉන්න පොරොන්දුවෙලා තමයි එන්න සිදුවෙලා තියෙන්නේ. මොන නීතියක්ද ඒක? මොන සාධාරණයක්ද ඒක? තමන්ගේ දරුවන්, නෑදෑයන් බලන්න එන මාසයේ නිවාඩුවෙන් දින 14ක් හෝටලයක ගත කරන්න සිදුවෙලා.
ඉන්දියානුවන් තමන්ගේ රටට ගෙන්වලා පී.සී.ආර්. පරීක්ෂණය සිදුකරලා වාර්තාව ආවට පසුව දින 03කින් පසුව තමන්ගේ නිවෙස්වලට යවනවා. ලංකාවේ ඒක කරන්න බැරි ඇයි? දැනටත් අපේ ගම්වල ආශ්‍රිතයින් නිරෝධායනය කරන්නේ තම තමන්ගේ නිවෙස්වලමයි. එදා රට විරුවෝ කියපු, ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දෙන්න අතින් වියදම් කරගෙන ආපු, මල්මාලා දාලා පිළිගත්තු අය අද මේ ආණ්ඩුවට වැඩකට නැතිවෙලා. රාජපක්ෂ ආණ්ඩුව ඔවුන්ට අද සලකන්නේ වසංගතයක් හැටියටයි. මහින්දානන්ද මහත්තයලා කිව්වේ මේ එන්නේ මිනිස් බෝම්බ කියලයි. අපි කියනවා මේ රටේ ජනතාවටත් විදේශගතවෙලා ඉන්න ජනතාවටත් මේ පාලකයන් කපටි ආරක්ෂකයින් පමණයි කියලා. ඔබගේ ඡන්ද මංකොල්ල කනවා විතරයි. මේ අයට ඕනෑ තමන්ටත් තමන්ගේ හිතවතුන්ටත් වාසිවෙන ව්‍යාපාර පමණයි. අද ආණ්ඩුවට වැදගත්වෙලා තියෙන්නේ රතු වරෙන්තු පිට ඉන්න ජාවාරම්කාර උදයංග වීරතුංග වැනි අය පමණයි.
ආණ්ඩුවම නිල වශයෙන් කිව්වා ලංකාවේ දෙවැනි රැල්ල පටන් ගත්තේ යුක්රේන ජාතිකයෙකුගෙන් කියලා. එහෙම යුක්රේනයකින් තමයි මේ සංචාරකයින් ගේන්නේ. ශ්‍රී ලාංකිකයින්ට වඩා යුක්රේන ජාතිකයින් ගෝඨාභය රාජපක්ෂට වැදගත් වෙන්නේ ඇයි කියලා ශ්‍රී ලාංකිකයින් තේරුම් ගත යුතුව තිබෙනවා. අද ඕනෑතරම් සමාජ මාධ්‍යවල විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ දුක් ගැනවිලි ප්‍රකාශයට පත් වෙමින් තිබෙනවා. නමුත් මේ ආණ්ඩුව ඔවුන්ගේ දුක් ගැනවිලිවලට ඇහුම්කණ් දෙන්නේ නැහැ. ලංකාවට එන්න ටිකට් එකට මුදල් හොයාගන්න අද අපේ කාන්තාවෝ විදේශ රටවල්වල ගනිකා වෘත්තියට වැටෙන තත්වයට පත්වෙලා. අපේ රටේ අම්මලා, අක්කලා, නංගිලා මෙවැනි තත්තවයකට පත්වෙන එක වළක්වන්න මේ කාළකන්නි ආණ්ඩුවලට උවමනාවක් නැහැ. කුවේට් වන්දි අරමුදලේ රු. බිලියන 03ක් තිබෙනවා. ඒ මුදල පාවිච්චි කරන්න පුලුවන් මේ අසරණ මිනිස්සුන්ට ටිකට් එක හදලා දෙන්න. ඒ වගේම විදේශගතවන පුද්ගලයින්ගේ රක්ෂණ අරමුදල් තිබෙනවා. අපි මේ රාජපක්ෂ ආණ්ඩුවෙන් අහනවා, මොන රක්ෂණ ක්‍රමයෙන්ද විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට සලකලා තියෙන්නේ කියලා. මේ අසරණ වුනු මිනිස්සු ලංකාවට ගේන්න ආණ්ඩුව හදපු වැඩපිළිවෙළ මොකක්ද?
ආණ්ඩුව මුලින් කිව්වා නිරෝධායන මධ්‍යස්ථාන නැහැ කියලා. කොරෝනා බෝවන නිසා ගේන්න බැහැ කිව්වා. නමුත් අපි යෝජනා කළා නිරෝධායන මධ්‍යස්ථාන වෙන් කරගෙන අපි ඔවුන් බලා ගන්නම් කියලා. ඒ යෝජනාව බාර ගත්තෙත් නැහැ. දැන් 68,000ක් ලංකාවට එන්න බලාගෙන ඉන්නවා. ඒ අය වෙනුවෙන් ආණ්ඩුවට තිබෙන වැඩපිළිවෙල මොකක්ද? ඒ මිනිස්සු වෙනුවෙන් හැඟීමක් මේ ආණ්ඩුවට නැත්තේ ඇයි? මේ ආණ්ඩුව වැඩපිළිවෙළ හදලා තියෙන්නේ යුක්රේන සංචාරකයෝ ලංකාවට ගෙනල්ලා සංචාරක කර්මාන්තය දියුණු කරනවා කියලා පෙන්වන්න. උදයංගගේ යුක්රේන සංචාරකයෝ රට වටේ ඇවිදින කොට අපේ ජනතාවට බියෙන් ජීවත් වෙන්නයි සිදුවෙලා තිබෙන්නේ. සංචාරක මණ්ඩලයේ සභාපතිතුමියත් කියනවා සංචාරකයින් ඇවිදින තැන් දැනගත්තේ මාධ්‍යවලින් කියලා. එතකොට නිරෝධායන නීතිවලට මොකද වෙලා තියෙන්නේ. අපි රාජපක්ෂ මහත්තයලගෙන් අහනවා උදයංග වීරතුංගලාට නිරෝධායන නීති අදාළ නැද්ද කියලා. ආපු පිරිසෙන් පස් දෙනෙක් කොරෝනා ආසාධිතයින් කියනවා. හයවෙනි එකක් ගැනත් කියනවා. හයවැනියා උදයංග වීරතුංගද කියලා අපි දන්නේ නැහැ. විදේශගත ශ්‍රී ලාංකිකයෙක් ලංකාවට ආවොත් ලක්ෂ ගාණක් හෝටල්වලට ගෙවලා නිරෝධායනය වෙන්න කියන ගමන් යුක්රේන සංචාරකයෝ රට වටේ ඇවිදිනවා. අපි ආණ්ඩුවට කියනවා, අඩුතරමින් උදයංගයි එයාගේ යාලුවෝ ටිකයි යනඑන තැන් කියන්න කියලා. එතකොට ලංකාවේ මිනිස්සුන්ට හැංගිල ඉන්න පුළුවන්. අද රාජ්‍ය අනුග්‍රහයෙන් ‘උදයංග කොරොනා පොකුර’ රට වටේ සංචාරය කරනවා. ඒක තමයි යාලෙදිත් සිදුවුණේ. සෆාරි රියදුරන් අද දින 14ක් නිරෝධායනය වෙනවා. අපේ කටහඬින් නෙවෙයි රාජපක්ෂ මහත්තයලව බලයට ගේන්න වැඩ කරපු කෙනෙක් සමාජ මාධ්‍යයේ අදහස් දක්වමින් කියලා තිබුණා මේ කරන්නේ ජාවාරකමක් කියලා. ආණ්ඩුවේ ගැටයකට අහුවුණා කියලා. නාමල් රාජපක්ෂට ස්තුතියි කියලා පළකරපු විඩියෝව ගැන කණගාටු වෙනවා කියලා. අද නිරෝධායනය වන පිරිසට කන්න බොන්න නැති බවත් ඔවුන්ගේ පවුල්වල දූ දරුවන්ට එදාවේල හොයාගන්න නැතිව දුක් විඳින බවත් ඔහු කියනවා. ඒ වගේම මේ ආණ්ඩුව බලයට පත් කිරීමට වැඩ කරපු එක ගැන ලැජ්ජා වෙන බවත් කැහි ගෑණි දීලා හොටු ගෑණි ගත්තා වගේ වැඩක් සිදුවෙලා තිබෙන බවත් ඔහු කියනවා.
මේ වගේම අසරණභාවයට පත්වුණු ජනතාවක් තමයි ඉතාලියේ, කොරියාවේ, මැද පෙරදිග ඉන්නේ. තමන්ගේ අතින් ටිකට් එකට වියදම් කරගෙන ඇවිල්ලා පොහොට්ටුවට ඡන්දෙ දෙන්න ආපු පිරිස් තමයි අද අසරණ වෙලා ඉන්නේ. බඩගින්නේ හිටියත් කමක් නැහැ එක රටක්, එක නීතියක් හදාගන්න පුළුවන්කියලා ආඩම්බරයෙන් ඡන්දේ දුන්නු මිනිස්සුන්ට අද රැකියාවත් අහිමි වෙලා. තමන්ගේ දරුවන් බලන්න එන්න විදිහක් නැතිවෙලා. එනවා නම් ලක්ෂ ගණන් වියදම් කරන්න සිද්ධ වෙලා තිබෙනවා. දේශපාලන ගජ මිතුරන්ගේ හෝටල්වලට ගෙවමින් දින 14ක් නිරෝධායනය වෙන්න සිදුවෙලා. යුක්රේන සංචාරකයන්ට තිබෙන අයිතිවාසිකම මව්බිමේ ඉපදුනු, රාජපක්ෂලා බලයට ගේන්න ඡන්දේ දුන්නු ජනතාවට නැත්තේ ඇයි? අද ශ්‍රී ලාංකිකයෝ විදේශිකයෝ බවට පත්කරලා.
ඔබ මේ ආණ්ඩුව බලයට ගේන්න දායක වුනු මිනිස්සු නම් තේරුම් ගත යුත්තේ මේ ආණ්ඩුව කපටි ආරක්ෂකයෙක් පමණක් බවයි. මේ ආණ්ඩුව කතා කරන්නේ ජනතාවගේ ආරක්ෂාව ගැන නෙවෙයි. අදත් ඔවුන් පෙනී ඉන්නේ ගජ මිතුරන් වෙනුවෙන් පමණයි. මේ වසංගතයත් හිඟන්නගෙ තුවාළය බවට පත්කර ගනිමින් හම්බ කරගන්න පමණයි වැඩසටහන් හදන්නේ. අද ‘උදයංග යුක්රේන කොරෝනා පොකුර’ දේශීය සංචාරක කර්මාන්තයේ පිරිස් පමණක් නොව ජනතාවත් බියට පත් කරමින් රට වටේ යනවා. වැඩපිළිවෙළක් සැලැස්මක් නැති විකෘතිසහගත දේවල් නිසා ජනතාවත් අපහසුතාවයට පත්වෙලා. ඒ නිසා අපි ආණ්ඩුවට බලකරනවා ශ්‍රී ලාංකිකයින් මේ රටට ගෙන්වීමේ වැඩපිළිවෙළ මොකක්ද කියලා ප්‍රසිද්ධියට පත්කරන්න කියලා. දින වකවානු සහිතව ආණ්ඩුව දැන්වත් වැඩසටහනක් සකස් කළ යුතුයි කුවේට් අරමුදල, රක්ෂණ අරමුදල් හෝ විශේෂ අරමුදලක් පිහිටුවලා හෝ අසරණ වූ ශ්‍රී ලාංකික ජනතාවට පිහිට වෙන්න ආණ්ඩුව වගකීම බාරගත යුතුයි. කොරෝනාවෙන් ගසාකන ජාවාරම නතර කරන්න කියලා අපි ආණ්ඩුවට කියනවා.
එතෙර අපි සංවිධානයේ සභාපති සුනිල් හඳුන්නෙත්ති.