ලබන මාර්තුවේ ශ‍්‍රී ලංකාව එරෙහිව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත්වීමට නියමිත චෝදනාවලින් මව්බිම ගලවා ගැනීමට නම් උපක‍්‍රමශීලී රාජතාන්ත‍්‍රික මෙහෙයුම්වලියක් වහා ආරම්භ කළ යුතු බව කැබිනට්ටුවට කරුණු පහදමින් අමාත්‍ය පාඨලී චම්පික රණවක කියා සිටී.
එහිදී වැඩිදුරටත් කරුණු පැහැදිළි කළ අමාත්‍යවරයා,
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේදී ඇමරිකා එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍ය ඇතූළු රටවල් කිහිපයක් එකතු වෙලා ශ‍්‍රී ලංකාවට එරෙහිව ගෙන ආ චෝදනාව පිළිබඳව 2019 මාර්තු මාසයේදී නැවත සලකා බැලීමක්, ප්‍රගති සමාලෝචනයක් සිදු කරනවා. එතනදී ලක් රජය තමන් මේතාක් දුරට අත්පත් කරගෙන තිබෙන ප‍්‍රගතිය ගැන විධිමත් වාර්තාවක් ඉදිරිපත් කරලා, මේ යෝජනාව ඉවත් කර ගැනීම සඳහා ක්‍රියාත්මක විය යුතුයි.
මා විසින් එයටකරුණු දෙකක් ඉදිරිපත් කරනවා. එකක් ඇමරිකා එක්සත් ජනපදය මුළුමනින්ම මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්විම. ඒ නිසා දැන් ලංකාවට විරුද්ධ මේ යෝජනාවට සහය දෙන්න ඉතිරිව ඉන්නේ ජර්මනිය ඇතූළු සමහර යුරෝපීය රටවල්. කොහොම වුනත් මේ රටවල් ඔක්කොම දැන් ත‍්‍රස්තවාදයට මුහුණ දීලා ඒවා මැඩ පවත්වන්න අලූත් නීති ගෙනවිත් තිබෙනවා. ඒ නිසා මේ ත‍්‍රස්තවාදයේ ඇත්ත තත්වය මේ හැම රටකටම දැන් අත්දැකීමෙන්ම තේරෙනවා. ඒ නිසා අපි මුහුණ දීපු මේ ත‍්‍රස්තවාදය මේ රටවල්වලට නැවත පැහැදිලි කිරීම ලංකා ආණ්ඩුවේ වගකීමක්.
ඊළඟට අපි සංහිඳියාව ඇති කිරීම සඳහා විශාල පියවර ප‍්‍රමාණයක් අරන් තියෙනවා. අපි අපේ හමුදාව යුද්ධයේ අවසානයෙන් පසු එළැඹිසංක‍්‍රාන්ති සමයේදී වගේ නැතිව, එදිනෙදා සාමාන්‍ය ජන ජීවිතයට ඔවුන් කළ මැදිහත්වීම් ඉවත් කරලා, රටේ සෑම පළාතකම එක හා සමාන සාමාන්‍ය වාතාවරණයක් ඇති කරන්නට කටයුතු කර තිබෙනවා ඒ වගේම යුද්ධය අවස්ථාවේ ඒ කටයුතු සඳහා ස්ථාපනය කර තිබූ අනු කඳවුරු සියල්ල ඉවත් කරලා, අවසාන යුද්ධයට පෙර, ඒ කියන්නේ 2006 මෙහෙයුමට පෙර තිබූ හමුදා කඳවුරු පමණක් ඉදිරියට පවත්වාගෙන යාමට කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම යුධ සමයේ ඔවුන් භාවිත කරපු ඉඩම් වලින් 90% කින් පමණ ඉවත් වෙලා තිබෙනවා. සාමාන්‍ය ජනයාගේ ඉතිරි දේපළත් ලබන මාර්තූවලට පෙර නිදහස් කල හැකි වේවි. ඊළඟට අපි බලගතු මානව හිමිකම් කොමිසමක් හදලා තිබෙනවා. ඒ මානව හිමිකම් කොමිසම ඔවුන් තමන් ස්වාධිනව ක‍්‍රියාත්මක වන බව ඔප්පු කරමින් ආණ්ඩුවේම කොටස්වලට විරුද්ධවත් ඔවුන්ගේ වාර්තා නිකුත් කර, ආණ්ඩුවේ බලපෑමකින් තොරව ක‍්‍රියාත්මක වන බව ක‍්‍රියාවෙන්ම පෙන්වා තිබෙනවා. ඊළඟට අපි බලගතු පොලිස් කොමිසමක් හදලා පොලීසිය ස්වාධින කරලා තියෙනවා. නීතිය හා සාමය රකින්නේ පොලීසිය. ඔවුනුත් ස්වාධීනව ක‍්‍රියාත්මක විය හැකි බව පෙන්නුම් කරලා තියෙනවා.
පෞද්ගලික අපරාධ චෝදනාවකට යුධ හමුදාවේ දෙවෙනියාව පවා අත්අඩංගුවට ගත්තා. ඒ අනුව ඉතාම පැහැදිලිව බලපෑමකින් තොරව නීතිය කාටත් සමව, ස්වාධිනව ක්රියාත්මක වෙලා තිබෙනවා කියන කාරණයත් ඔප්පු වෙනවා. කවර මතිමතාන්තරයක හෝ සිටින දේශපාලන සිරකරුවන් අද අපේ රටේ නැහැ. අත්අඩංගුවේ හෝ සිරභාරයේ සිටින්නේ බරපතල අපරාධ චෝදනා ලැබූ හෝ බරපතල චෝදනා ඔප්පු වෙච්ච 66 දෙනෙක් පමණයි. අනෙක් සියළු දෙනාම නිදහස් කර තිබෙනවා. ඒ ප‍්‍රමාණය 13,000 කට ආසන්න ප‍්‍රමාණයක්. ඊළඟට අපි අතුරුදහන්වූවන්ගේ කාර්යාලයක් පිහිටුවා තිබෙනවා අසූ ගණන්වල කලබලවල සිට මේ දක්වා අතුරුදහන් වූවන් පිළිබඳ දත්ත එක්රැස් කරන්න. ඊළඟට ‘සත්‍ය ගවේෂණ’ නමින් යුධ සමයේ සිදුවූ ක‍්‍රියාකාරම් ගවේෂණ කර සත්‍යය සෙවීමටත් ආණ්ඩුවෙන් යෝජනා කර තිබෙනවා.
ඊළඟට මේ මෑතදී පිහිටවපු හානී පූර්ණ කාර්යාලය මගින්, මේ ගැටුම් නිසා දේපළ හෝ ජීවන බර දරන්නා අහිමි වු පවුල්වලට නැවතත් පවුල් ජීවිත අළුතින් ගොඩනගා ගැනීමට අවශ්‍ය මානූෂීය සහ යුක්ති සහගත යාන්ත‍්‍රණයක් හදලා තිබෙනවා. ඒ වගේම ත‍්‍රස්ත විරෝධි අලූත් පණත් ගෙනවිත් තිබෙනවා. එය ලබන මාර්තු මාසයට පෙර සම්මත කළ යුතුයි.
ඊළඟට උතුරු හා නැගෙනහිර දෙපලාතේ විශාල සංවර්ධන යෝජනා ක‍්‍රම ගණනාවක් රජය දියත් කර තිබෙනවා, ඒ ප‍්‍රදේශවල ජනතාවගේ නිවාස, ජලය, විදුලිය ඒ නිවාසවල ප‍්‍රශ්න විසඳන්න. පසුගිය කාලයේ පාරවල් ආදිය හදන්න අති විශාල ධනයක් ලංකා ආණ්ඩුව වැය කර තිබෙනවා.
ආණ්ඩුව එහෙම මානූෂීයව සහ යුක්ති සහගතව කටයුතූ කලත් ඇතැම් කණ්ඩායම් මේවා වැරදි විදිහට රට ඇතුලේ කතා බහට ලක් කරලා රජයට විරුද්ධව උතූරේත් දකූණේත් ජන කොටස් අතරේ අදහස් දක්වනවා. අවසානයේ රට තූලත්, ජාත්‍යන්තරය තූලත් ආණ්ඩුවේ මානූෂීය බව සහ යුක්ති සහගත බව තහවුරු කරන්න රජයක් හැටියට අප අපොහොසත් වෙලා තියෙනවා.
අගමැතිතුමා එංගලන්තයට ගිහින් ඔක්ස්ෆර්ඞ් යුනියන් එකේ දේශණය කරන විට ඔක්තෝබර් 8 වෙනිදා එල්.ටී.ටී.ඊ. හිතවාදීන් ඇවිල්ලා ඒගොල්ලන්ගේ කොඩිය අරගෙන අගමැතිතුමාට විරුද්ධව කටයුතු කලා. බ්‍රිතාන්‍ය පොලීසිය ඉතිහාසයේ පළවෙනි වතාවට එල්.ටී.ටී.ඊ. හිතවාදීන් හතරදෙනෙක් අත්අඩංගුවට ගත්තා හැබැයි වහාම නිදහස් කළා.නමුත් අනෙක් ත‍්‍රස්තවාදී සංවිධාන සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පොලීසිය එවැනි ක්‍රියාවලියක් අනුගමනය කරන්නේ නැහැ.
ලංකා රජය කරපු වරදක් තමයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ අපට එරෙහිව තිබූ යෝජනාවට සම අනුග‍්‍රාහකයෙක් වීම. ඒ සම අනුග‍්‍රාහකත්වයෙන් අයින් වෙලා, අපේ රාජතාන්ත‍්‍රික සේවාවන් නොපමාව කාර්යක්ෂමව සහ ඵලදායි ලෙස යොදාගනිමින් මේ සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වෙන්න කාලය ඇවිල්ලා. අපි අපේ රටේ සැබෑ තත්වය ලෝකයට පැහැදිලි කරලා දෙන රාජතාන්ති‍්‍රක මෙහෙයුමක් ආරම්භ කරන්න ඕනේ. ඒ හරහා මාර්තු මාසයේ දී එන මේ යෝජනාව සම්පූර්ණයෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් කර ගන්න අධිෂ්ඨානශීලීව කටයුතූ කරන්න අවශ්‍යයි.