බරපතල මූල්‍ය වංචා දූෂණ නඩු විභාග කිරීමේ දෙවැනි ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අලුත්කඬේ මහාධිකරණ ශාලා අංක 01 හි පිහිටුවීමට තීරණය කර ඇතැයි  වාර්තා වේ .

1978 අංක 2 දරණ අධිකරණ සේවා සංවිධාන පනතින් අධිකරණ ඇමැතිවරියට පැවැරී ඇති බලතල යටතේ මෙම පිහිටුවීම සිදුකරනු  ඇත.

ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ දෙවැනි විශේෂ මහාධිකරණය සඳහා විනිසුරුවරුන් පත්කර තිබූ නමුත් එය පිහිටුවීම පමා වූයේ එය කොළඹ අධිකරණ බල ප්‍රදේශයේ පිහිටු වන ස්ථානය පිළිබඳ ප්‍රශ්න මතු වූ නිසාය.

අධිකරණ අමාත්‍යාංශය මගින් එය නිල වශයෙන් අධිකරණ සේවා කොමිසන් සභාවට භාරදෙන්නේ යැයි ද ඉන් පසු එහි භාරකාරිත්වය අගවිනිසුරුවරයා සතුවන්නේ යැයි ද සදහන්වේ.

විශේෂ මහාධිකරණ පිහිටුවීමේ සංශෝධන පනත් කෙටුම්පත පසුගිය වසරේ මැයි 9 වැනිදා ව්‍යවස්ථාදායකයේ වැඩි ඡන්දයෙන් සම්මත වූ අතර ඊට අනුව එහි පළමු විශේෂ මහාධිකරණය පසුගිය වසරේ අගෝස්තු 21 වැනිදා පිහිටුවිණි.

දණ්ඩ නීති සංග්‍රහට යටතේ ගැනෙන වැරදි විභාග කිරීමට මෙම මහාධිකරණවලට බලය හිමිවන අතර ඒ අනුව අල්ලස්, සාපරාධී විශ්වාසය කඩ කිරීම, මූල්‍ය අපහරණය, මූල්‍ය විශුද්ධිකරණය, ත්‍රස්තවාදී කටයුතු සඳහා මුදල් යෙදීම, සංවිධානාත්මක අපරාධ සහ මහජන දේපල අවභාවිතයට අදාළ පැමිණිලි විභාග කිරීම එහිදී සිදුවේ.