ජනමාධ්‍යවල ක්‍රියාකාරිත්වය පිළිබඳව අඛණ්ඩ අධීක්ෂණය, උපදෙස් සැපයීම, මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව, මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් සාමූහිකව ක්‍රියා කිරීම සහ අන්තර්ජාතික සහයෝගිතාව සම්බන්ධීකරණය ආදී කරුණු සම්බන්ධයෙන් කටයුතු කිරීම පිණිස පාර්ලිමේන්තු ස්ථාපිත ස්වාධීන ආයතනයක් පිහිටුවන මෙන් ජනමාධ්‍ය නිදහස උදෙසා වූ සංවිධානයක් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි.
සිය 25 වෙනි සංවත්සරය සමරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එම ඉල්ලීම කරන්නේ ජනමාධ්‍යයට එරෙහි අපරාධ සම්බන්ධ දණ්ඩ මුක්තිය අවසන් කිරීම පිළිබඳව සිදු කළ අධ්‍යයනයක වාර්තාවක් ප්‍රකාශයට පත්කරමිනි.
ජනමාධ්‍යවලට එරෙහි අපරාධ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණ පවත්වන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සහ මීට ඉහතදී ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ද කිහිප වරක්ම ඉල්ලා සිටි පරිදි පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත්කිරීම ද IFEX සංවිධානයේ ද දායකත්වය සහිතව ප්‍රකාශයට පත්කරන ලද “නිහඬ බව බිඳීම” (No Impunity) නම් එම අධ්‍යයන වාර්තාවේ නිර්දේශවලට ඇතුළත් වේ.
මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කෙරෙන ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම ද කොමිසමේ කාර්යය නියමයන්ට ඇතුළත් විය යුතු බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ තවත් ඉල්ලීමකි.
එබැවින් ඝාතනයට සහ අපරාධවලට ලක්වුණු මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා වසර විසි පහකට පෙර ඉදිරිපත් කළ ප්‍රධාන සටන් පාඨය අදත් එලෙසම ඉදිරිපත් කිරීමට සිදුවී තිබෙන බව ද ඔහු පෙන්වා දුන්නේය.
“නිහඬ බව බිඳීම” වාර්තාව ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු එල්ල කරන එම චෝදනාව අනුමත කරයි.
ශ්‍රී ලංකා ඉතිහාසය තුළ “වැඩිම මාධ්‍යවේදීන් පිරිසක් අපරාධවලට ගොදුරු වූ” 2000 සිට 2015 වසරේ ආරම්භය දක්වා මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන්ට එරෙහිව කෙරුණ අපරාධ සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව යටතේ පරීක්ෂණ කිහිපයක් පැවැත්වෙන නමුත් එම පරීක්ෂණවල ප්‍රගතිය ද ඉතා මන්දගාමී බව අධ්‍යයන වාර්තාව පෙන්වා දෙයි.
2010 ජනපතිවරණය සමයේ සිට අතුරුදහන්ව සිටින සිය සැමියා වෙනුවෙන් යුක්තිය ඉටු කරන මෙන් ඉල්ලා වසර හතක මුළුල්ලේ අරගලයක නිරතව සිටින සන්ධ්‍යා එක්නැලිගොඩ කරන ප්‍රකාශයක් අධ්‍යයන වාර්තාවේ මුල් පිටුවේම සඳහන් වෙයි.
“මේක අපරාධයක් සම්බන්ධ ප්‍රශ්නයක්. අපරාධයක් සිදුකරලා එය වසන්කරන්න හැකිවෙන්න බැහැ …! එහෙමනම් නීතියක් මොකටද? ආණ්ඩුවක් මොකටද?,” සන්ධ්‍යා එක්නැලිගොඩ ප්‍රශ්න කරයි.
ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩුවක් විභාවෙමින් පවතින නමුත් ඔහු සිටින තැනකින් සොයා අධිකරණයට ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටිමින් ඇය ගොණු කළ හබයාස් කෝපුස් පෙත්සම “දැනට විභාගයට නොගෙන බහා තබා තිබේ.”
මේ අතර පිළිගත හැකි සාක්ෂි තිබියදීම ඇතැම් මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටුකිරීමට මෙතෙක් අපොහොසත් වී ඇති බව සිහිපත් කරන පර්යේෂකයෝ, රූපවාහිනී සංස්ථාවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා වූ ටීඑම්ජී චන්ද්‍රසේකර සංස්ථාව තුළදීම ප්‍රහාරයට ලක්වීම පිළිබඳව වීඩියෝ සාක්ෂි පවා තිබියදී ඔහුට මෙතෙක් සාධාරණය ඉටු නොවීම එයට හොඳම උදාහරණයක් බව පෙන්වා දෙති.
සිය ආයතනවල සේවය කරන මාධ්‍යවේදීන්ට එරෙහිව අපරාධ සිදු වූ අවස්ථාවල ඔවුන් වෙනුවෙන් යුක්තිය ඉටුකරගැනීම පිණිස අදාළ මාධ්‍ය ආයතන හෝ හිමිකරුවන් ප්‍රබල දායකත්වයක් දක්වා නොමැති බවත් වාර්තාව සිහිපත් කරයි.
අනෙක් අතට යුද සමයේදී ශ්‍රී ලංකාව තුළ යුද මානසිකත්වයක් ගොඩනගමින් ඇතැම් මාධ්‍යවේදීන්ම සිය වෘත්තීය සගයන්ට එරෙහි අපරාධවලට වක්‍රාකාරයෙන් සම්බන්ධ වූ බව අධ්‍යයනයේ තවත් නිරීක්ෂණයකි.
“හිතට එකඟව කතාකරනවා නම් යුද්ධ කාලයේදී ජනමාධ්‍යවේදීන් ජනමාධ්‍යවේදය පැත්තකින් තියලා යුද්ධ කරන්න ගියා. සමහර මාධ්‍යවේදීන්ට තමන්ගේම දේශපාලන න්‍යාය පත්‍ර තිබුණා,” යනුවෙන් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පර්යේෂකයන්ට පවසා තිබේ.
මේ අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු නොවීම (දණ්ඩ මුක්තිය) පිළිබඳව සලකා බැලීමේ දී බොහෝ අපරාධ සම්බන්ධ නඩු වර්තමානයේ සිවිල් නඩු බවට පත්ව තිබීම පැහැදිළිව දකින්නට ලැබෙන්නක් බව යාපන විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ කථිකාචාර්ය සාමිනාදන් විමල් පෙන්වාදෙන කරුණකි.
ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ පනත දැන් ක්‍රියාත්මකව තිබියදී පවා සිය අධ්‍යයනය සඳහා ශ්‍රී ලංකාවේ පොලිසියෙන් තොරතුරු ලබාගැනීම ඉතා දුෂ්කර කරුණක් වූ බව ද පර්යේෂකයෝ පවසති.
(BBC)