දේශපාලනය සමඟ මාතෘ භූමිය වෙනුවෙන් උඩුගං බලා පිහිනන ගමනේදී තම ජීවිතය හෝ තනතුර හෝ ඒ දෙකම නැතිවිය හැකි වුවත් සටන අත්නොහරින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  කියා  සිටියි.ජනාධිපතිවරයා මේ  කියා සිටියේ කොළඹ  ෂැංග්‍රිලා හෝටලයේ දී  පැවති ජාතික මැණික් හා ස්වරණාභරණ අධිකාරියේ විසිපස් වසර සැමරුම සඳහා පැවැති උත්සවයක දීය. එහෙදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති වරයා මෙසේද පැවැසීය. ඕනෑම ඉහළ පෙළේ දේශපාලඥයකුට තමන් සමඟ සංවාදයකට එන්නැයි තමන් අභියෝග කරන බවත් වරද නිවැරදිව පෙන්වා දීමට තමන් සූදානම් බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.ලබන ජනවාරියේ දී තමන් තවත් පොතක් නිකුත් කරන්නේ යැයි කී සිරිසේන මහතා රනිල් සමඟ වසර තුනක අනවරත දීගයක් නමින් ඒ පොත නම් කරන බව ද සඳහන් කළේය.

පාර්ලිමේන්තුව ඒකපාර්ශ්විකව රැස්වී එහි නොසිටි තමන් හා තම දියණිය ලියු පොතක් ගැන දිගින් දිගටම විවේචනය කළේ යැයි ද එජාපය එහි කළේ තනියම ක්‍රීඩා කිරීමක්  බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

රාජ්‍ය පාලනයේ දී සිදුවන සිත් රිදීම් සේවය සඳහා කිසිදු අයුරකින් බල නොපාන බව පැවසූ ජනාධිපතිවරයා අද තමන් නරක මිනිසකු ලෙස දකින්නන් හෙට දවසේ දී හොඳ මිනිසකු ලෙස දකිනු ඇතැයි ද සඳහන් කළේය. තමන් අද මේ සටන කරන්නේ දූෂණය භීෂණය ඒකාධිපති වාදය හා රට විනාශ කරන සියලු බලවේගවලට එරෙහිව යැයි ද පැවැසීය.

මේ වනතුරුත් තමන් කිසිදු තැනක දී සෙලවී නැතැයි ද වැරදිකරුවන් නිවැරදිකරුවන් කවුදැයි ඉතිහාසය හෙළිදරවු කරනු ඇතැයි ද එය හෙට දවසට භාර කරන බව ද හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේය. කෙසේ වෙතත් මේ සටනේ දී ජනතාව තමන් හුදකලා කරන්නේ නැතැයි තමන් දන්නා බව ද ඔහු වැඩි දුරටත් කීය.