පසුගිය මාස දහය තුළ පමණක් ඩොලර් මිලියන 80 ක මුදලක් ශ්‍රී ලංකා රජය ප්‍රධාන කොන්ත්‍රාත් සමාගමට ගෙවා නොමැති බව දැන ගන්නට ඇත.

මේ නිසා දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර බෙලිඅත්ත කොටසේ සියලු ඉදි කිරීම් වැඩ නතර වී ඇත.වැඩ කිරීමට පැමිණි 1500 කට අධික සේවකයින් ද ආපසු හැරී ගොස් තිබේ.

ඊට අමතරව බර වාහන ඇතුළු යන්ත්‍රෝපකරණ ද සියල්ල පාර දෙපස නතර කර ඇති අතර මාතර බෙලිඅත්ත කොටසේ දුර කිලෝ මීටර් 30 කින් යුක්ත වන අතර එහි කාපට් කිරීමේ කටයුතු පසුගිය දිනවලදී සිදුවිය.

ඉකුත් 2015 වසරේ දී මෙම මාර්ගයේ වැඩ ආරම්භ කළ අතර එහි කොන්ත්‍රාත් කාලය ලබන නොවැම්බර් මස 29 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබේ.

නියමිත කාලය තුළදී අධිවේගී මාර්ගය සාදා දිය යුතු නිසා මේ දිනවල දිවා රාත්‍රී දෙකෙහිම ඉදි කිරිම් කටයුතු සිදු කළ අතර එම නිසා ඉදි කිරිම් කටයුතු සියයට 90 ක ප්‍රමාණයක් අවසන් කර තිබෙන බව ප්‍රධාන කොන්ත්‍රාත් සමාගම සඳහන් කරයි.

එම සමාගමට අමතරව චීනයේ උප කොන්ත්‍රාත් සමාගම් පහක් හා මෙරට කොන්ත්‍රාත් සමාගමක් ද මෙම ව්‍යාපෘතියේ උප කොන්ත්‍රාත්කරුවන් ලෙස කටයුතු කරයි.ඔවුන් සියලු දෙනාම මෙම වෘත්තීය ක්‍රියා මාර්ගයට සහාය පල කර ඇත.

කෙසේ වෙතත් උද්ගතව ඇති තත්වය පිළිබඳව කැතික් සමාගම හා රජයේ බලධාරීන් අතර සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා තිබුණි.

ඒ අනුව ලබන 09 වැනිදා පාර්ලිමේන්තුව රැස් වී ඇති වී තිබෙන තත්වය ගැන සාකච්ඡා කර විසඳුමක් ලබා දෙන තෙක් දින කිහිපයක් තාවකාලිකව ඉදි කිරිම් වැඩ කිරීමට කැතික් සමාගම එකඟ වී තිබේ.

කෙසේ වෙතත් ඇති වී තිබෙන තත්වය ගැන කැතික් සමාගම චීන රජයද දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.