පසුගියදා  සිදුවූ  බෝම්බ ප‍්‍රහාරය වළක්වා ගැනීමට හෝ එම ප‍්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීමට ක‍්‍රියා නොකිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර  යන අය  වහාම සැකකරුවන් වශයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට නියම කර ඇත.

පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය වළක්වා ගැනීමට හෝ එම ප‍්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීම සඳහා ක‍්‍රියා නොකිරීම මඟින් හිටපු ආරක්‍ෂක ලේකම්වරයා මෙන්ම අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පතිවරයා ප‍්‍රබල ලෙස  රාජකාරිය පැහැර ඇති බව සඳහන් කරමින් ඔවුන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නියම කර ඇති නීතීපතිවරයා මීට දින 05 කට පෙර නිකුත් කළ මෙම නියෝගය අනුව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හේතූ දක්වන ලෙස වැඩබලන පොලිස්පති චන්දන වික‍්‍රමරත්න මහතාට ලිඛිතව නියම කරඇති  බව  වාර්තා වේ .

පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන  විසින් පත් කරන ලද විජිත් මලල්ගොඩ කොමිසමේ අතුරු වාර්තාවේ සඳහන් නිර්දේශ මෙන්ම පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය වළක්වා ගැනීමට හෝ එම ප‍්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීමට ක‍්‍රියා නොකිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර සහ තවත් අයවලුන්ගේ නොසැළකිල්ල හෝ නොකර හැරීම සම්බන්ධයෙන් කරනු ලබන අපරාධ විමර්ශනය අනුව නීතිපති ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා  එසේ  නියම කර ඇති  බව සදහන් වේ .