ජාතික ජන බලවේගයේ අපි හැමෝම විශ්වාස කරන කාරණයක් තමයි අපේ රටට දැවැන්ත සමාජ, ආර්ථික, දේශපාලන පරිවර්තනයක් ඕනෑය කියන එක. කලාකරුවන් වන ඔබටත් ඒ වෙනුවෙන් විශාල කාර්යභාරයක් තිබෙනවා.
අපට වැදගත් වන්නේ අප ඉදිරියේ තිබෙන අභියෝගය ජය ගැනීම සඳහා අපි තෝරා ගන්නා මාර්ගය කුමක්ද යන්නයි. අප අතර කුමන මතවාද තිබුණත් මෙම අරගලයේදී අපිට කිසි විටෙක අත්හළ නොහැකි ක්‍ෂේත්‍රයක් තමයි සංස්කෘතික ක්‍ෂේත්‍රය. අපි වගේ ආසියානු සබඳතා තිබෙන රටක දේශපාලන සබඳතාවලට වඩා පෙරට ඇවිත් තිබෙන්නේ සංස්කෘතිකමය සටන් පාඨයි. පසුගිය කාලවල සිදුවූ බල පෙරළිවලදී ඒවා සිදුවී තිබෙන්නේ දේශපාලන සටන්පාඨවලට වඩා සංස්කෘතික සටන් පාඨ මුල් කරගෙන බව පෙනී යනවා. උදාහරණයක් ලෙස එක දේශපාලන කඳවුරකින් මෙසේ ප්‍රකාශ වන්න පුළුවන්.
ගිරුවාපත්තුවේ ඉපදුණු, වෙල් ඉපනැල්ලේ ඇවිදින, කුරහන් සාටකය පළඳින, කුරහන් තලප තමන්ගේ ප්‍රියතම ආහාරය බවට පත්කරගත් දේශපාලන නායකයෙකු ඉන්න කඳවුරක් තිබෙනවා. එතැනදී ඒ තුළ ආර්ථික කරුණු ගැබ්වී තිබෙන්නේ කොතැනද? ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කරුණු ගැබ්වී තිබෙන්නේ කොතනැද? එතැන රටට ශක්තිමත් විදෙස් ප්‍රතිපත්තියක් වැනි දේශපාලන කරුණුවලට වඩා ගැබ්වී තිබෙන්නේ සංස්කෘතික මානයක්. එය පසුගිය දශක එක හමාරකට වඩා වැඩි කාලයක් තුළ ඉතාම සැලසුම්සහගතව අපේ සමාජය තුළ ගොඩනගන ලද කථිකාවක්. ඒ සඳහා කවි ලිව්වා. චිත්‍රපටි හැදුවා. සින්දු හැදුවා. සාහිත්‍යයක් නිර්මාණය කළා. අපි දන්නවා, සිංහල බෞද්ධ සංස්කෘතිය ඇතුළේ උතුම්ම කවුද කියලා ඇහුවොත් ඒ බුදු රජාණන් වහන්සේ කියලනේ කියන්නේ. කෙනෙකුට ඔබ බුදුන් වගේ කිවුවොත් ඒක බුදුන් වහන්සේට කරන අපහාසයක් වෙනවා. එනිසා ඒක මේ විදිහට කිවුවොත්. ඔබට ශාක්‍ය වංශය සමඟ ඥාතිත්වයක් තිබෙනවා කියලා. මේ ගොඩනැංවීම ගමන් කළේ කොතැනටද? බුදුන්ට, සුද්ධෝධන රජතුමාට නෑකමක් තිබෙනවා කියන කාරණය කවුරුත් ප්‍රශ්න කළාද? ලේඛකයෙකු හෝ අන් කවරෙකු හෝ එසේ කළාද? ඒ වෙනුවට සමහර විට එහෙම වෙන්න ඇති කියලා හිතෙන තරමට අර ව්‍යාජ කැරිස්මාව ගොඩනගලා තිබුණා.
මේ ව්‍යාජ කඳවුරට එරෙහිව සැබෑ ලෙසම මානව දයාවෙන් මිනිස්කමින් සමන්විත සෑම දෙනාගේම අභිමානය, ගෞරවය පිළිගන්නා සංස්කෘතික කඳවුරක් ගොඩනගන්නේ කෙසේද?
ජාතිය අනතුරේ කියමින් එය බේරා ගැනීමට අර කලින් කී කඳවුර බලවත් කරන්න කියන ඉල්ලීම අද ඉදිරියට ඇවිල්ලා. නමුත් අපේ රටේ වත්මන් දේශපාලන සංවාදයේදී ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත්භාවය පිළිබඳ සාකච්ඡාව යට ගිහිල්ලා. ආර්ථික උපායමාර්ගය, ආර්ථිකයේ සාධාරණ පංගුවක් ජනතාවට ලබාදීමේ අරගලය ඒ සම්බන්ධ කථිකාව යටපත්වෙලා තිබෙනවා. නිදහස, මානවවාදය පිළිබඳ සාකච්ඡාව යටපත් කරලා. ගෝත්‍රවාදී පැරණි යල්පිනූ සංස්කෘතිමය ගති ලක්‍ෂණ වෙනුවට නූතන මානවවාදය, සහෝදරත්වය පිළිබඳ සංස්කෘතික මානයන් සම්බන්ධයෙන් අරගලයක් අපි කළ යුතුව තිබෙනවා.
ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායක අනුර දිසානායක .