ගල්ගොඩියාන දූපත පිහිටා තිබෙන්නේ මාතර, පොල්හේන මුහුදු තීරයට යාබදව යි. ගොඩබිම් ප්රදේශයේ ජීවත් වූ අතීත ගැමියන් සර්පයන් සහ මෘත ශරීර බැහැර කිරීමට මෙම දූපත යොදාගෙන තිබෙන්නේ. පසුකාලීන ව, මෙරටට පැමිණ පැවිදි වූ තායිලන්ත රජ පවුලේ කුමාරයෙක් මෙම දූපත සිය වාසභූමිය බවට පත් කරගන්නවා.
දූපතේ පිහිටීම සහ ඉතිහාසය
මාතර දිස්ත්රික්කයේ, පරමුල්ල ග්රාමයේ සිට මුහුද දෙසට වන්නට පිහිටා ඇති මෙම දූපතට බෝට්ටුවකින් තමයි ගමන් කරන්න වෙන්නෙ. 1766 වසරේ දී ‘වෑන් ඩෝසර්’ නැමැත්තකු මෙරට දකුණු දිග මුහුදු තීරය සිතියමට නඟන අවස්ථාවේ දී වෙරළ ආසන්නයේ මුහුද දෙසට නෙරා ගිය භූමියක් ‘ගල්ගොඩියාන’ ලෙස නම් කර ඇති බව යි මෙහි ඉතිහාසය පිරික්සීමේ දී අනාවරණය වන්නේ.
දීර්ඝ කාලයක් තිස්සේ මුහුදු කෑමට ලක්වීම හේතුවෙන් ඊට වසර ගණනාවකට පසුව එම භූමිය දූපතක් බවට පත් වූ බව යි මූලාශ්රවල හි සඳහන් වන්නේ. වර්ෂ 1900ට පෙර යුගයේ දී මෙය හුදෙකලා දුපතක් ලෙස යි පැවත තිබෙන්නේ..
1900 වසරේ දී ආරණ්යවාසී දිවියක් ගත කිරීමේ අපේක්‌ෂාවෙන් ජිනවරවංස හිමි, ගල්ගොඩියාන දූපත බලා වැඩම කර තිබෙනවා. පෙර සඳහන් කළ පරිදි එම යුගය වන විට මෙම දූපත ගම්වාසීන් විසකුරු සර්පයන් මුදාහැරීම සඳහා සහ මෘත ශරීර බැහැර කරලීම සඳහා යොදාගත් නිසා, ජිනවරවංස හිමියන් එම පරිසරය ස්වකීය විදර්ශනා භාවනාව දියුණු කිරීම සඳහා යොදා ගෙන ඇති බව කියැවෙනවා. පසුව, උන්වහන්සේගේ ගිහි කල තොරතුරු මෙන්ම පැවිදි ජීවිතය ගැන පැහැදුණු ගම්වැසියන් මෙම දූපත උන්වහන්සේට පූජා කරනවා.
ඒ වන විට තමන් හා අමනාප ව සිටි තායිලන්තයේ චූලාලංකාර රජුට ගෞරව දැක්වීමට හා ඔහු සිහිපත් වීම පිණිස ජිනවරවංස හිමියන් මෙම දූපත “චූල ලංකා” යනුවෙන් හඳුන්වා තිබෙනවා. උන්වහන්සේ මෙම දූපතේ තායි ශෛලියට අනුව දාගබක් නිර්මාණය කොට, කළුගල් යොදාගෙන කුටියක් ද නිර්මාණය කරනවා. උන්වහන්සේට දූපතේ සිට මෙගොඩට වැඩම කිරීම සඳහා ගල් යොදා සකස් කරගත් මාර්ගයක් ද තිබූ බව යි ගම්වාසීන් පවසන්නේ.
එහි දැක්‌වෙන අන්දමට, පොල් අතු සෙවිලි කළ මඩුවල යි උන්වහන්සේලා වාසය කර තිබෙන්නේ. පසුව, මෙම ස්වාමීන් වහන්සේලා පිළිබඳ ව දැනගත් ඕලන්ද ජාතික ධනවත් වෙළෙන්දකුගේ පුත්රයකු වූ ඕලන්ද ජාතික ෆ්රාන්ස් බර්ජෙන්ඩාල් සහ ජර්මානු ජාතික ෆ්රිට්ස් ස්ටැන්ජ් යන දෙදෙනා දූපතට පැමිණ පැවිදි වීමට අයැද සිටිනවා. ඒ අනුව, ෆ්රාන්ස් බර්ජෙන්ඩාල් ‘සුඤ්ඤ’ යන නමින් ද ෆ්රිට්ස් ස්ටැන්ජ් ‘සුමන’ යන නමින් ද පැවිදි දිවියට පත් වෙනවා. එම පැවිදි උලෙළ උත්කර්ෂවත් ව පැවැත්වූ බව යි ඤාණාතිලෝක හිමියන්ගේ චරිතාපදානයේ සඳහන් වන්නේ.
ජිනවරවංස හිමියන් මෙම දූපතේ වැඩ වසන බව දැනගත් උන්වහන්සේ පෙර සිට දැන හැඳින ගෙන සිටි ජර්මනියේ ඔටුන්න හිමි කුමරිය වූ ලුවී ෂෙල්ස්විග් – හෝල්ස්ටීන් කුමරිය ද, එවකට ලංකාණ්‌ඩුකාර ශ්රීමත් හෙන්රි බ්ලේක් සහ ඊඩිත් බ්ලේක් ආර්යාව ද මෙම දූපතට පැමිණ උන්වහන්සේ බැහැදැක ගිය බවට තවදුරටත් සඳහන් වෙනවා.
දූපතෙහි පසුකාලීන තත්ත්වය
1906 වසරේ දී ඤාණතිලෝක හිමියන් ස්වකීය මව්පියන් බැහැදැකීමේ අරමුණෙන් ජර්මනිය බලා වැඩම කළ අතර, සුමන හිමියන් ද රෝගී තත්ත්වයක් සඳහා ප්රතිකාර ලබා ගැනීමට උන්වහන්සේ සමඟ ජර්මනිය බලා වැඩම කරනවා. සුඤ්ඤ හිමියන් ද පසුකාලීන ව එම දූපතෙන් පිටව ගොස් ඇති බව කියැවෙනවා.
ජිනවරවංස හිමියන් වස්‌කඩුවේ ශ්රී සුභූති මහනායක හිමියන්ගේ ඉල්ලීම පරිදි කොටහේන දීපදුත්තමාරාමයේ විහාරාධිපති ධූරය භාරගෙන එහි වැඩ වසනවා. 1911 වසරේ දී ඤාණතිලෝක හිමියන්, ලුඩ්විග් ස්ටෝග් නමැත්තකු ‘වප්ප’ නමින් ගාල්ලේ දී පැවිදි කරනවා. පසු කාලයේ දී ගල්ගොඩියාන ආරණ්යයේ නිත්යවාසී භික්ෂුව ලෙස වැඩ වසන්නේ උන්වහන්සේ යි. පළවෙනි ලෝක යුද සමයේ දී යුද ඔත්තු සැපයීමේ වරදට ගල්ගොඩියාන දූපත වටලා වප්ප හිමියන් අත්අඩංගුවට ගැනුණු අතර එයින් පසුව දූපත ජනශූන්ය වූ බව යි සඳහන් වන්නේ.
ජිනවරවංස හිමියන් උපැවිදි වීම
1911 වසරේ දී ජිනවරවංස හිමියන් චූලාලංකාර රජුගේ අවමංගල්ය උත්සවයට සහභාගී වීම සඳහා තායිලන්තය බලා යනවා. තායි රජ පවුලේ බලපෑම් මත උන්වහන්සේට උපැවිදි වීමට සිදුවන්නේ එවිට යි. ඔහුට ලංකාව බලා ඒමට තිබූ අවසරය පවා නව තායිලන්ත රජු අවලංගු කළ බව පැවසෙනවා. තායිලන්තයේ මෙන්ම කලක් ජපානයේ ද වාසය කළ ප්රිස්දාන් කුමරු, 1935 මාර්තු 16 දින බැංකොක් නුවර දී අභාවයට පත් වෙනවා.
වර්තමාන තත්ත්වය
2004 දෙසැම්බර් 26 වැනි දින ඇති වූ සුනාමි ව්යසන අවස්ථාවේ දී මෙම දූපතෙහි වූ පුරාවිද්යාත්මක ස්මාරකවලට සැලකිය යුතු හානියක් සිදුවුණා. මේ වන විට දූපතෙහි ඇති තායි ශෛලියෙන් ඉදිකොට ඇති දාගබ ද පුරාවස්තු මංකොල්ලකරුවන්ගේ ග්රහණයට නතු වී තිබෙනවා. ස්වභාව සෞන්දර්යය අතින් අතිශය වැදගත්කමක් උසුලන මෙම දූපත, තායි – ලංකා සබඳතාවට කදිම නිදසුනක් වන හෙයින් මෙය විනාශ වීමට නොදී රැකගැනීම අප සැමගේ වගකීමක්.
උපුටාගැනිමකි .