විල්පත්තු වන සංහාරය ගැන විගණකාධිපති ප්රමුඛ කමිටු වාර්තාවට අනුව පරීක්ෂණ වලට ඉඩදී රිසාඞ් බදියුදීන් ඇමතිකමෙන් ඉල්ලා අස්නොවන්නේ නම් ඔහුව කණෙන් ඇදලා එළියට දැමිය යුතු යැයි බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවැසුහ.ඒ අද රාජගිරිය, නාවල පාරේ පිහිටි ශ්‍රී සද්ධර්මරාජක විහාරයේදි පැවති මාධ්‍ය හමුවකදීය.
මෙහිදි තවදුරටත් අදහස් දැක්වු ඥානසාර හිමියෝ මෙසේද පැවසූහ.
‘අපි විල්පත්තු වන සංහාරය ගැන කතා කරන්නේ 2014 වසරේ ආරම්භයේ සිටයි. අපි මේ ගැන මාධ්‍ය සාකච්ඡා පැවැත්වුවා. 2014 මාර්තු මාසයේ අපි මාධ්‍ය නිවේදනයක් කළා. ඒ කාලේ රටේ අවාසනාවකට හැම කෙනෙක්ද අපේ පැත්තට ඇඟල්ල දිගු කළා අපි ජාතිවාදය අවුස්සනවා කියලා. අපිට තියෙන්නේ මුස්ලිම් විරෝධයක් කියලා කිව්වා.
මේ වෙනකොට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත්කළ විගණකාධිපති ඇතුලූ කමිටුවේ විල්පත්තු වන සංහාරය ගැන කළ පරික්ෂන වාර්තාව එළි දක්වා තිබෙනවා. එහි තිබෙනවා විල්පත්තුවේ වන විනාශයක් සිදුව ඇති බව. රිසාඞ් බදියුදින් ඇමතිවරයාට එහි වගකීමක් ඇති බව. එදා අපි මේවා කියද්දි කිසි කෙනෙක් පිළිගත්තේ නැහැ. දැන්වත් මේ කමිටු වාර්තාවට අනුව ඉදිරි පරික්ෂන සිදුකර වැරදිකරුවන්ට දඬුවම් ලබාදෙන්න අවශ්‍ය ඉඩකඩ සලසමින් නම්බු ඇතිව ඇමතිකම තබා ගෙදර යන්න කියලා අපි රිෂාඞ් බදියුදීන් ඇමතිවරයාට මතක් කරනවා.
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් යම් යම් චෝදනා එල්ල වන විට රවි කරුණානායක ඉල්ලා අස්වුණා. විජේදාස රාජපක්ෂ සම්බන්ධයෙන් යම් ගැටලූ මතුවුණාම විධායක බලය භාවිතා කරලා ඔහුව ඇමතිකමෙන් ඉවත් කළා. ඇයි මේ දෙකෙන් එකක් වත් රිෂාඞ් බදියුදින් ඇමතිවරයාට අදාල කර නොගන්නේ? විධායක බලය තියෙන්නේ කොස් කොටන්න නෙවෙයි. අවශ්‍ය විට භාවිතා කරන්න. පෙනේ පුප්පන්න් නැත්නම් නයාව වුණත් දරමිටිය බඳින්න ගන්නවා කියලා බුදුහාමුදුරුවොත් පෙන්වා දිලා තිබෙනවා යයි වැඩිදුරටත් පැවැසුහ.