පාර්ලිමේන්තු සැසිවාරය කල් දමමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය නීතිවිරෝධී යැයි තීන්දු කොට එය බල රහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වී ඇති බව සඳහන් වේ. නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් පෙත්සම ඉදිරිපත් කර ඇති බව පැවසේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඉකුත් 27 වනදා නිකුත් කළ ගැසට් නිවේදනයක් මඟින් පාර්ලිමේන්තු සැසිවාරය ලබන 16 වන දා දක්වා කල්තැබීම සිදු කර ඇති අතර කිසිදු සාධාරණ පදනමක් නොමැතිව පාර්ලිමේන්තු සැසිවාර කල් තැබීම හේතුවෙන් රටේ අස්ථාවරභාවයක් නිර්මාණය වී ඇති බව පෙත්සම්කරු පෙන්වා දී ඇති බව සඳහන් වේ.
එමෙන්ම ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ සැසිවාරය කල් දැමීම තුළින් සිය මූලික අයිතීන් කඩ වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් නිකුත් කර ඇති ගැසට් නිවේදනය නීතිවිරෝධී බවට තීන්දු කොට එය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇති බව වැඩිදුරටත් පැවසේ.