මෙයින් මාසයකට පෙර සමූහ දූෂණය කිරීමකට ගොදුරු වූ කාන්තාවක් එම දූෂකයන්ගේ අතින් ඇසිඩ් ප්‍රහාරයකට ද ලක්ව ඇති බව ඉන්දියානු පොලිසිය පවසයි.
එම කාන්තාව දූෂණය කරනු ලැබීම සම්බන්ධයෙන් චෝදනා ලබන පුද්ගලයන් දෙදෙනෙක් ඇප මත මුදා හරිනු ලැබ සිටි අතර ඔවුන්ට එරෙහි දූෂණ චෝදනා ඉවත් කර ගන්නා මෙන් ඔවුන් කාන්තාවට බල කර ඇති අතර ඊට එකඟ නොවීම නිසා එම චූදිතයන් දෙදෙනා සහ තවත් හඳුනා නොගත් තැනැත්තෙක් ඇයට ඇසිඩ් ගසා ඇති බවත් පොලිසිය කියා සිටියි.
උතුරු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ‘ෆටෙඝාර්’ (Fatehgarh) නගරයේ දී පැමිණිලිකාර කාන්තාව පුද්ගලයන් තිදෙනකු විසින් දූෂණය කරනු ලැබ ඇති අතර තුන්වෙනි චූදිතයා තවමත් සිර භාරයේ පසුවෙයි.
ඇප මත මුදා හරිනු ලැබ සිටි චූදිතයන් දෙදෙනා ඉහත කී ඇසිඩ් ප්‍රහාරයෙන් පසු යළි අත්අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමක් මේවනවිට ආරම්භ කර ඇති බවත් වාර්තා වෙයි.
චූදිතයන් දෙදෙනාට ඇප ලබා දීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කළ පැමිණිලිකාරිය ඇසිඩ් ප්‍රහාරයට ගොදුරු වී ඇත්තේ උසාවියේ සිට ආපසු පැමිණෙමින් සිටියදීය.
පැමිණිලිකාරිය හුදෙකලා ස්ථානයක දී කොටුකර ගත් චූදිතයන් දූෂණය කරනු ලැබීමට අදාළ නඩුකරය ඉවත් කර ගන්නා මෙන් බල කළ බව ඇය ප්‍රකාශ කරන්නේ යයි පොලිස් අධිකාරී දයා නන්ද් මිස්රා බීබීසියට ප්‍රකාශ කළේය.
“මම නඩුව ඉල්ලා අස් කර ගැනීම ප්‍රතික්ෂේප කළා. ඒ අවස්ථාවේ ඔවුන් මගේ මුහුණට ඇසිඩ් ගැහුවා” එම කාන්තාව පවසන්නීය.
එම ඇසිඩ් ප්‍රහාරයෙන් මුහුණ සහ සිරුර පිළිස්සීමට ලක් වූ කාන්තාව රෝහල්ගත කරනු ලැබ ඇත.
2012 වසරේ දිල්ලි අගනුවරදී වෛද්‍ය ශිෂ්‍යාවක් බස් රථයක් තුළ සමූහ දූෂණයකට ලක් කිරීමේ පටන් ඉන්දියාවෙන් එවැනි දූෂණ අපරාධ රැසක් වාර්තා වී ඇත.
(BBC)