විදේශ රැකියා සඳහා පිටත්ව යාමේදී සිදුවන පුද්ගල ජාවාරම් වැලක්වීමට කටයුතු කරන බවත් ඒ සඳහා ගුවන් තොටුපලේ පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශ ඒකකය ශක්තිමත් කරන බවත් විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර පැවසීය.
ඒ අනුව ගුවන් තොටුපලේ පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන් තොටුපොල ඒකකයට අවශ්‍ය පිරිස් බලය වැඩි කරන බවද හෙතෙම සඳහන් කළේය.
කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මේ බව සදහන් කළේය.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය
විදේශ රැකියා සඳහා පිටත්ව යාමේදී සිදුවන පුද්ගල ජාවරම් පිලිබඳ අපිට තොරතුරු ලැබී තිබෙනවා. ඇතැම් විට ගුවන් තොටුපොලේ සිටින සමහර නිලධාරීන්,සමහර ආරක්ෂක නිලධාරීන් සම්බන්ධ යැයි චෝදනා එල්ල වෙනවා. මේ ගැන විදේශ රැකියා අමාත්‍යංශයේ අවධානය යෙමු වී තිබෙනවා.
එම ජාවාරම්වලට වැට බැදීමට මේ වන විට අප කටයුතු කරමින් සිටිනවා. ඒ අනුව තමයි ගුවන් තොටුපල ඒකකය ශක්තිමත් කරන්නෙ. නීති විරෝධී ආකාරයට විදේශගත වන දෙතුන් දෙනෙක් දවසකට අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙනවා.
විදේශ රැකියා අමාත්‍යංශය ලෙස කාන්තාවන් විදේශගත වීම අවම කරලා පිරිමි ශ්‍රමිකයින් වැඩි වශයෙන් රැකියා සඳහා යොමු කිරීමට අපි කටයුතු කරනවා. මීට පෙර රැකියා සඳහා විදේශ ගත වූවන්ගෙන් සියයට හැටක් හැත්තෑවක්ම කාන්තාවන් වුනා. ඒත් දැන් එම ප්‍රතිශතය සියයට තිස්පහ හතලිහ දක්වා අඩු වී තිබෙනවා.ඉදිරියේදී මේ ප්‍රතිශතය තවත් අඩු කිරීමට තමයි අපි කටයුතු කරන්නෙ.