ඔස්ට්‍රියානු සහන ණය යටතේ රෝහල් 33 ක ශල්‍යාගාර සහ දැඩිසත්කාර ඒකක වැඩිදියුණු කිරීම සදහා ගිවිසුම් අත්සන් කිරීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ දී පසුගියදා සිදු කෙරිනි.
මෙහිදී අදාල ගිවිසුම සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස සහ ඔස්ට්‍රියාවේ Odelga MED Ges.M.B.H සමාගමේ කළමණාකාර අධ්යක්ෂ Mr. Peter Haag අතර අත්සන් කෙරුනි.
මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – “ශ්‍රී ලංකාවේ රෝහල් සංවර්ධනය කිරිම සදහා විදේශ ආයොජන රැසක් ලැබී තිබෙනවා. ඔස්ට්‍රියානු සමාගම මගින් යුරෝ 9587574 ක් වැය කරමින් රෝහල්වල ශල්‍යාගාර සහ දැඩිසත්කාර ඒකක වැඩිදියුණු කරනවා. මේ වනවිට සෞඛ්‍ය සේවාව නංවාලීම සදහා විදේශ ආයෝජන 70 ක් පමණ ලැබී තිබෙනවා. වත්මන් රජය විදේශ ආයෝජන අගය කරනවා. උතුරු පළාතේ මෙන්ම දිවයින පුරා රෝහල් සංවර්ධනයට ආයෝජන ලැබී ඇත්තේ එම නිසයි. යුරෝපයේ මෙන් සංවර්ධිත රෝහල් ලැබෙන අතර, එම රටවල භාවිත කෙරන නවීන තාක්ෂණය ද සෞඛ්‍ය සේවාවට ලැබීම ඉතාම වැදගත්. වෛද්‍යවරුන් ඉල්ලන සෑම නවීනතම වෛද්‍ය උපකරණ ලබාදී තිබෙනවා. නිදහස් සෞඛ්‍ය සේවාව නාමපුවරුවට පමණක් සීමා කරන්නේ නැහැ. රජය ද විශාල ආයෝජනයක් සිදු කරනවා. වැඩිම විදේශ ආයෝජන ලැබී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයටයි. වසර 2020 වනවිට ඊ- හෙල්ත් ව්‍යාපෘතිය යටතේ රෝහල් 300 ක් පරිගණක ගත කරන අතර ජනතාව වෙනුවෙන් ඊ-හෙල්ත් කාඩ්පතක් ද හදුන්වා දෙනවා. ඒ පිළිබදව ඉන්දීය සමාගමක් සමග සාකච්ඡා පවත්වා තිබෙනවා. ඉන්දියාවෙන් ගිලන් රථ සේවාව ආරම්භ කරන විට වෛද්‍ය සංගමය ප්‍රකාශ කළා ගල් ගහන්න කියලා. නමුත් ජනතාව එම ගිලන් රථ සේවාවේ ප්‍රයෝජන අද ලබනවා. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පොරොන්දු වුනා තවත් ගිලන් රථ 250 ක් ලබාදීමට. එම සේවාව දීප ව්‍යාප්ත කරනවා. සයිටම් ආයතනය දෙස බලා නිදහස් සෞඛ්‍ය සේවාව පිළිබද තීන්දු තීරණ ගන්න එපා. බල්ලන් බිරුවට ගැල ඉදිරියට යනවා වාගේ සෞඛ්‍ය සේවාව ඉදිරියට ගමන් කරනවා.”
මෙම අවස්ථාවට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස, අතිරේක ලේකම් (සංවර්ධන) ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වැඩබලන සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් සරත් අමුණූගම, රෝහල් අධ්යක්ෂවරු සහ ඔස්ට්‍රියාවේ Odelga MED Ges.m.b.h සමාගමේ කළමණාකාර අධ්යක්ෂ Mr. Peter Haag ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.