හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ප්රධානත්වයෙන් පසුගිය දිනක බත්තරමුල්ල නෙළුම් මාවතේ සම්බන්ධීකරණ කාර්යාලයේදී පැවැති ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් රැස්වීමකදී බැසිල් රාජපක්ෂ ගේ ක්රියාමාර්ග විවේචනයට ලක්වීමෙන් පසුව එම කණ්ඩායම දෙදරා ගොස් ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි. (නව පක්ෂයක් පිහිටුවා බැසිල් රාජපක්ෂ කරගෙන යන ක්රියාවලිය එහිදී ශ්රීලනිප මන්ත්රීවරුන්ගේ දැඩි විවේචනයට ලක්වී ඇති අතර එම ක්රියාමාර්ග වෙනස් කිරීමට බැසිල් පාර්ශ්වය එකඟ නොවීම නිසා මෙම දෙදරා යාම සිදුවී තිබේ.
ජී. එල්. පීරිස් ඉදිරියට දමාගෙන නව පක්ෂයක් පිහිටුවා එයට ශ්රීලනිප පළාත් සභා හා ප්රාදේශීය සභා මන්ත්රී පිරිසක්ද සම්බන්ධ කර ගනිමින් පක්ෂය දෙකඩ කිරීමට බැසිල් රාජපක්ෂ ක්රියාකිරීම තමන්ට අවාසිදායක බවත් එය වහාම නැවැත්විය යුතු බවත් ශ්රීලනිප මන්ත්රීවරුන්ගේ අදහස වී තිබේ. එබඳු ක්රියා මඟින් තමන්පක්ෂය කැඩීමේ චෝදනාවට ලක්වන බව එම පිරිස පෙන්වා දී තිබේ. කෙසේ වෙතත් නව පක්ෂයේ වැඩ කටයුතු නවතා දැමීමට බැසිල් රාජපක්ෂ ඇතුළු කණ්ඩායම එකඟ වී නැති අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සහයද හිමිව ඇත්තේ එම කණ්ඩායමට බව ආරංචි මාර්ග කියයි.
නව පක්ෂයට තමන් කිසිසේත් සම්බන්ධ නොවන බවත් ශ්රී ලංකා නිදහස් පක්ෂය අතහැර ගොස් අනාථවීමට තමන් කිසිසේත් සූදානම් නැති බවත් ශ්රීලනිප මන්ත්රීවරුන් ප්රකාශ කොට ඇත. එබැවින් මෙම කණ්ඩායමේ දෙදරීම අනිවාර්ය වී ඇති බව ආරංචිමාර්ග කියයි. ඒකාබද්ධ විපක්ෂය ලෙස ක්රියාකිරීමට එක් වූ මන්ත්රී කණ්ඩායම තුළ සිටි ප්රබල පිරිසක් මුලසිටම බැසිල් රාජපක්ෂ ගේ ක්රියාකලාපයට එරෙහිව සිටියහ. මහින්ද රාජපක්ෂ මැතිවරණයකට පොළඹවා ඔහුව පරාජය කිරීමට මුල්වූයේ බැසිල් රාජපක්ෂ බවට පිරිසක් එළිපිටම බැසිල්ට චෝදනා කළහ. ඔහුගේ ක්රියා නිසා රාජපක්ෂ පාලනයද අප්රසාදයට පත්වු බවට චෝදනා එල්ල විය. කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ දිගින් දිගටම ක්රියාත්මක වූයේ බැසිල් රාජපක්ෂ ආරක්ෂා කිරීමටය. මෙය නැවතත් පවුල්වාදය ඉස්මතුවීමක් ලෙස දැන් චෝදනා නැගී ඇත.
පක්ෂයේ තම අනුගාමිකයන්ගේ හඬට කන්නොදී මහින්ද රාජපක්ෂ දිගින් දිගටම බැසිල් රාජපක්ෂ ආරක්ෂා කරමින් ඔහුගේ ක්රියාවන්ට ආධාර කිරීම නිසා එම කණ්ඩායමේ දෙදරා යාම නොවැළැක්විය හැකි තත්ත්වයට පත්ව තිබේ.
(colomboX news)