“කොත්මලේ මහවැලි මහාසෑයේ භාරකාරිත්වය කිසිම සමාගමකට හෝ එන්.ජි.ඕ එකකට පවරන්නේ නැහැ. නවීන් දිසානායක කවදාවත් එහෙම කරන්නෙත් නැහැ. එහෙම කරන්න ඉඩකුත් නැහැ. මගේ පියාණන් යම් කිසි තැනක ඉඳලා බලාගෙන ඉන්නවා නම් මට එහෙම කරන්න ඉඩ දෙන්නෙත් නැහැ ” යනුවෙන් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක පැවසුයේ මාවනැල්ල, හිඟුල ශ්‍රී සෙනවිරත්නාරාම විහාරස්ථානයේදී දී පසුගිය දිනක පැවැති සිරි දම්පල් ගුණ සමරු පින්කම් මාලාවට සහභාගි වෙමිනි.
තව දුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා …
කොත්මලේ මහවැලි මහාසෑය අපි ශ්‍රී ලංකාවේ විශාලතම චෛත්‍යරාජයාණන් වහන්සේ වන රුවන්වැලිසෑයට වඩා අඩි දෙකක් උසින් අඩුව නිර්මාණය කරලා තියෙනවා.මේ නිර්මාණය පටන් ගත්තේ මගේ දිවංගත පියාණන්. එදා වෙහෙර විහාර 16ක් මහාවැලි ජලාශයට යට වුණා. මල්වතු පාර්ශවය, අස්ගිරි පාර්ශවය, රාමඤ්ඤ පාර්ශවය සහ අමරපුර පාර්ශවය යන හතරටම අයත් පන්සල් යට වුණා. එම නිසා මගේ පියාණන් හිතුවා ඒ පන්සල් 16 වෙනුවෙන් මේ පන්සල නිර්මාණය කරන්න අවශ්‍යයයි කියලා. ඉතිං මට ශක්තිය ලැබුණා ඒක අවසන් කරන්නට. ඒ සඳහා මට ස්වාමින් වහන්සේලාගෙන් උදව් ලැබුණා. අපි කණ්ඩායම් හැඟිමෙන් වැඩ කරලා අපිට පුළුවන් වුණා අවුරුදු 35 කට පස්සේ මේ චෛත්‍යෙයේ වැඩ කටයුතු අවසන් කරන්න. දැනට අපිට තියෙන්නේ මතභේදයක් පමණයි. පුද්ගලයන් අතර ප්‍රශ්නයක් නෙමෙයි. මගේ මතය තමයි ඒ විනාශ වු පන්සල් 16ට මේ චෛත්යරාජයානන්ට අයිතියක් තියෙනවා .මේක එක පාර්ශවයකට එක පන්සලකට එක ස්වාමින් වහන්සේ කෙනෙක්ට අයිති දෙයක් නෙමෙයි.
අපි ස්වාමින් වහන්සේලාට හරිම ආදරෙයි. මගේ පියාණන් මට එහෙමයි උගන්නලා තියෙන්නේ. මහා සංඝයාගෙන් තොරව අපිට ලෝකයක් නැහැ. සියළුම ස්වාමින් වහන්සේලාගෙන් අවසර අරගෙන භාරකාර මණ්ඩලයකින් තමයි මේ පන්සල පාලනය කරන්නේ. ඒ අපිට ලැබෙන මුදල් පන්සල් 16ටම අපි ලබා දෙනවා. කළුතර බෝධිය වගේ ඒ විදිහට තමයි මෙයත් පාලනය කරන්නේ.
මෙතන සිටින අය මගේ හදවත දන්නවා මම මොන වාගේ පුද්ගලයෙක්ද කියලා. අපි කොතන හිටියත් මොන රජයක හිටියත් මොන පක්ෂයක හිටියත් අපිට වැදගත් වන්නේ අපේ බෞද්ධකම හා සිංහලකම. ඉන් තොරව අපිට කිසිම දේශපාලනයක් නැහැ. දේශපාලනයට වඩා අවශ්‍ය වන්නේ අපේකම රැක ගැනීමයි. නුවරඑළියේ සිංහල අපි 37% ක් පමණ තමයි ඉන්නේ. ඒත් අපි අපේ දමිළ සහෝදරයන් සමඟ සුහඳව කටයුතු කරනවා.
මෙතන නොයෙකුත් දේශපාලන මතිමතාන්තර තියෙන්න පුළුවන්.ඒක ප්රජාතන්ත්රවාදී ස්වරෑපයක්. මේ රට ප්රජාතන්ත්රවාදී රටක්.මේ රටේ මිනිස්සුන්ට ඡන්ද බලයෙන් ඕනෑම රජයක් පිහිටවන්න පුළුවන් එළියට දාන්න පුළුවන්. මම පැහැදිළිවම ප්‍රකාශ කරනවා දේශපාලනඥයෙක් විදිහට අපේ රටේ බෞද්ධාගමට දෙන ප්‍රමුඛස්ථානය මේ රජය කවදාවත් වෙනස් කරන්නේ නැහැ කියන එක. එහෙම කරන්න බැහැ. එහෙම කළොත් අපිට ඉන්නත් බැහැ. බෞද්ධාගම කියන්නේ අපේ හදවත.
ඒ වගේම මේ දවස් වල නොයෙකුත් පුද්ගලයන් කියනවා මේ ව්‍යවස්ථාව වෙනස් කරලා රටේ ඒකීයභාවය නැති කරන්න යනවා කියලා. ඒකත් අපිට පිළිගන්න බැහැ. නොයෙකුත් දේවල් නොයෙකුත් මොඩල ප්‍රජාත්‍රන්ත්‍රවාදී ස්වරූපය තුළ කතා කරන්න පුළුවන්. ව්‍යවස්ථාවේ යම් දේවල් අඩංගු විය යුතුයි කියලා ඒ අදහසත් තියෙනවා. අලුතෙන් දේවල් එකතු කරන කොට ඒ ගැන පුළුල් ලෙස සාකච්ඡා කළ යුතුයි. රටේ ජනතාවගේ මතය දැන ගතයුතුයි.