ජනප්‍රිය සංවිධායකවරුන් ඉවත් කොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමේ වගකීම අවසානයේදී පක්ෂ නායකයා වන ජනාධිපතිවරයාට බාර ගැනීමට සිදු වනු ඇති බව පා.ම මහින්ද රාජපක්ෂ පවසයි.
ජනප්‍රිය ශ්‍රීලනිප සංවිධායකරුවන් පිරිසක් ඉවත් කර අලුතින් නව ආසන සංවිධායකවරුන් පත්කිරීම සම්බන්ධයෙන් ඔහු විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මේ බව සදහන්වේ.
එම නිවේදනය වැඩිදුරටත් පහත පරිදිය.
ජනප්‍රිය සංවිධායකවරුන් ඉවත් කිරීම තුළින් ශ්රීලනිපය දෙකඩ කිරීම
ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් වූ මහින්ද යාපා අබේවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන, සී.බී.රත්නායක, ගාමිණි ලොකුගේ හා කෙහෙලිය රඹුක්වැල්ල යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද ඇතුළුව තවත් කීපදෙනෙකුම එම තනතුරු වලින් ඉවත් කර තිබේ.
ඒකාබද්ධ විපක්ෂය සමඟ වැඩ කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින්ගෙන් පළිගැනීමේ නවතම අදියර මෙයයි.
මීට පෙර අවස්ථාවලදී දිලුම් අමුණුගම, එස්.එම්. චන්ද්‍රෙස්න, සාලින්ද දිසානායක, ගීතා කුමාරසිංහ, කංචන විජේසේකර හා ප්‍රසන්න රණතුංග ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක්ද තම ආසන සංවිධායක ධූර වලින් නෙරපා හරිනු ලැබීය.
පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ පක්ෂ සාමාජිකත්වය පවා අත්හිටුවා ඇත.
මේ දඩයම නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැනටමත් දෙකඩ වී ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශාල ජන පදනමක් ඇති සංවිධායකවරුන් ඉවත් කොට අඩු ජන පදනමක් ඇති පුද්ගලයන් එම තනතුරුවලට පත් කිරීමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දුර්වල කිරීමත් එක්සත් ජාතික පක්ෂයට වාසිදායක තත්වයක් ඇති කිරීමත් නිරායාසයෙන්ම සිදු වේ.
පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇති සනත් නිශාන්ත මන්ත්‍රීවරයා පුත්තලම් දිස්ත්‍රික්කයේ සියලුම දේශපාලන පක්ෂ අතරින් වැඩිම මනාප ලබාගත් දේශපාලඥයායි.
ඉවත් කොට තිබෙන ආසන සංවිධායකවරුන්ගෙන් බොහෝ දෙනෙක් තමන්ගේ දිස්ත්‍රික්කවල වැඩියෙන්ම මනාප ඡන්ද ලබාගත් කීප දෙනා අතර සිටි.
උදාහරණයක් වශයෙන් ප්‍රසන්න රණතුංග ගම්පහ දිස්ත්‍රික්කයේ පලවෙනියා විය.
දිලුම් අමුණුගම මහනුවර දිස්ත්‍රික්කයේ තුන්වෙනියා විය.
එස්.එම්. චන්ද්‍රෙස්න අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළමුවෙනියා විය. රෝහිත අබේගුණවර්ධන කළුතර දිස්ත්‍රික්කයේ දෙවෙනියා විය.
මහින්ද යාපා අබේවර්ධන මාතර දිස්ත්‍රික්කයේ තුන්වෙනියා විය.
සී.බී. රත්නායක නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආරුමුගන් තොන්ඩමන්ට පසු දෙවෙනියා විය.
පවිත්‍රා වන්නිආරච්චි රත්නපුර දිස්ත්‍රික්කයේ තුන්වෙනියා විය.
මේ සියළු දෙනාම තම දිස්ත්‍රික්කවල ජනප්‍රිය දේශපාලඥයින් වෙනවා පමණක් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බල කණුද වේ.
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ සිට අද දක්වා පක්ෂ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන්ද 17 දෙනෙකු නෙරපා හැර තිබේ.
මුළු රටම හඳුනන මෙවැනි පුද්ගලයින් වෙනුවට නව ආසන සංවිධායකවරුන් හැටියට පත් කොට තිබෙන්නේ එක්කො පරාජිත අපේක්ෂකයන් නැත්නම් පළාත් සභා මට්ටමින් පවා අඩු මනාප සංඛ්‍යාවක් ලබා ගත් අපේක්ෂකයන්ය.
මේ ආකාරයට ජනප්‍රිය සංවිධායකවරුන් ඉවත් කොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමේ වගකීම අවසානයේදී පක්ෂ නායකයා වන ජනාධිපතිවරයාට බාර ගැනීමට සිදු වනු ඇත.
අපි මේ දකින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමේ දෙවෙනි අදියරයි.
පළමු අදියර වූයේ ශ්රීලනිපය විසින් පාලනය කරනු ලබන සියළුම පළාත් පාලන ආයතන විසුරුවා හැරීමයි.
මේ පළාත් පාලන ආයතන තිබුණේ නම් ඕනෑම මැතිවරණයකදී ඒවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විශාල පිටුවහලක් වනු ඇත.
පළාත් පාලන ආයතන විසුරුවා හැරීමෙන් පැහැදිලි වාසියක් එජාපයට අත් වූ බව අවිවාදාත්මකය. එජාපය හා ශ්‍රිලනිපය අතර හවුල් ආණ්ඩුවේ කාලය අවුරුදු දෙකේ සිට පහ දක්වා වැඩි කරනු ලැබුවේද පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් හෝ විධායක සභාවෙන් හෝ අඩුම වශයෙන් ආණ්ඩුව සමඟ සිටින ශ්‍රීලනිප පාර්ලිමේන්තු කණ්ඩායමෙන්වත් නොවිමසාය.
එජාපයට වාසිය ලබා දීම සඳහා ගන්නා මේ පියවරයන් ඉතා සාවධානව නිරීක්ෂණය කරන මෙන් මම සියළුම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගෙන් ඉල්ළා සිටිමි.
හිටපු ජනාධිපති
Posts like this make the inentert such a treasure trove
Thanks.we respect to your idea.write to us.
info@lankanewscolumn.lk
We need your help.