මුදල් විශුද්ධිකරණ පනත යටතේ තමන්ට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කර ඇති චෝදනා පදනම් විරහිත බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මරණ දඬුවම නියමව සිටින සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා නැමැත්තා විසින් ඉදිරිපත් කර ඇති විරෝධතාවල තීන්දුව සැප්තැම්බර් මස 29 වැනිදා ප්‍රකාශ කරන බව කොළඹ මහාධිකරණය දැනුම් දී තිබේ.
මුදල් විශුද්ධිකරණ පනත යටතේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදාට එරෙහිව පවරා ඇති නඩුව අද විභාගයට ගත් අවස්ථාවේ ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා මෙම විරෝධතා ඉදිරිපත් කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසුවේය.
එම නීතීඥවරයා සඳහන් කර ඇත්තේ තම සේවාදායකයාට එරෙහිව පොලීසිය විසින් චෝදනා 57ක් නීති විරෝධී ආකාරයට ඉදිරිපත් කර ඇති බවයි.
එම චෝදනා සියල්ල අසත්‍යය බව සඳහන් කළ නීතීඥවරයා ඔහු එම චෝදනාවලින් නිදහස් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා ඇත.
කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න එම විරෝධතා පිළිබඳ තීන්දුව සැප්තැම්බර් මස 29 වැනිදා ප්‍රකාශ කරන බව දැනුම් දී තිබේ.