පසුගිය වසර තුනක කාලය ඇතුළත විභාග කිරීමට සිදු වූ දික්කසාද පැමිණිලි වලට ප්‍රධාන හේතුව ගෙදොර දොරේ සිදු කෙරෙන හිරිහැර වන බව චීන උසාවියක් පවසයි.
බේජිං අගනුවර අංක 01 දරන මැදිහත් වීමේ අධිකරණය ප්‍රකාශයක් කරමින්, ගත වූ වසර තුන ඇතුළත තමන් විභාග කළ 850 කට අධික දික්කසාද නඩුවලින් 85% කදීම ගෙදොර දොරේ දී සිය ස්වාමිපුරුෂයන් විසින් සිදු කරනු හිරිහැර නිසා තමන්ට අධිකරණයේ පිහිට පැතීමට සිදු වූ බව දික්කසාදය ඉල්ලා සිටින කාන්තාවන් පවසන බව පෙන්වා දෙයි.
එසේම එම පැමිණිලි අන්‍යෝන්‍ය වශයෙන් සුහද මට්ටමින් නිරාකරණය කිරීමට නොහැකි මට්ටමට උග්‍ර වූ ඒවා බවත් එම අධිකරණ ප්‍රකාශනයේ දැක්වෙයි.
ගෘහස්ථ හිංසනය සම්බන්ධයෙන් බල පැවැත්වෙන අලුත් නීතියක් චීන ආණ්ඩුව විසින් පසුගිය වසරේ සම්මත කරන ලද නමුත් එම හිංසනය අපරාධයක් හැටියට සැලකීමට පොලිසිය සහ අධිකරණය සූදානම් නොමැති බවට බොහෝ චීන කාන්තාවෝ පැමිණිලි කරති.
විවාහ වී හෝ නීතිය අනුව විවාහ නොවී හෝ එකට ජීවත් වෙන චීන කාන්තාවන්ගේ 40% කට ආසන්න පිරිසක් පවුල් ජීවිතය තුළ හිරිහැර ආදියට ගොදුරු වෙන බව චීන මාධ්‍ය මගින් වාර්තා කරනු ලැබ ඇත.
එම ප්‍රශ්නය කොතරම් ගැඹුරු තත්වයකට පත්ව තිබුනත් ගෙදොර දොරේ සිදු කෙරෙන හිරිහැර පෞද්ගලික කාරණයක මට්ටමින් සැලකීමේ සම්ප්‍රදායක් ද චීන සමාජය තුළ දක්නට ලැබෙයි.
ගෘහස්ථ හිංසනය සම්බන්ධයෙන් අලුත් නීතියක් සම්මත කෙරුණත් විවාහ නොවී පවුල් ජීවිත ගත කරන පුද්ගලයන් සහ දික්කසාද ජෝඩු වලට එම නීතියෙන් උදව්වක් නොලැබෙන බව ගෘහස්ථ හිංසනයට එරෙහිව උද්ඝෝෂණය කරන කණ්ඩායම් කියා සිටිති.
ශ්‍රී ලංකාවේ දික්කසාදවීම්
ශ්‍රී ලංකාව තුළත් දික්කසාද වීම් වැඩි හරියක් කෙරෙහි බලපාන්නේ ගෙදොර දොරේ සිදු කෙරෙන ප්‍රචණ්ඩ ක්‍රියාවන් බව මානව හිමිකම් නීතිවේදී නාමල් රාජපක්ෂ පවසයි.
“මගේ වෘත්තීය ජීවිතය තුළ මගේ සේවාදායකයන් කියා සිටින කාරණයක් වන්නේ ඔවුන් ගෙදොර දොර දී මුහුණ දෙන ප්‍රචණ්ඩත්වය නිසා පවුලින් ඈත් වූ බව. තම ස්වාමිපුරුෂයන් බීමත්ව පැමිණ පහර දෙන බව විශේෂයෙන්ම බොහෝ කාන්තාවන් පවසනවා. එවැනි පරිසරයක් තුළ ඔවුන් තෝරා ගනු ලබන්නේ දික්කසාදය ” නීතිඥ නාමල් රාජපක්ෂ පවසයි.
“ශ්‍රී ලංකාවේ නීතිය අනුව දික්කසාදයක් ඉල්ලා සිටිය හැකි කරුණු තුනක් තියෙනවා. එකක්, ද්වේශ සහගතව අත්හැර යාම. දෙවැන්න අනාචාරය .තුන්වැන්න ලිංගික බෙලහීනතාවය. මේ කරුණු අතරින් ශ්‍රී ලංකාවේ දික්කසාද නඩුවලින් වැඩි හරියක් ගොනු කරනු ලබන්නේ ද්වේශ සහගතව අත්හැර යාම පිළිබඳ චෝදනාව යටතේයි” නීතිඥ නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකාවේ තත්වය සම්බන්ධයෙන් දීර්ඝ විවරණයක නිරත වෙමින් සඳහන් කළේය.
නීතිඥවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පුරුෂයා හිරිහැර කරන බව පවසමින් සිය දෙමව්පියන් හෝ වෙනත් ස්ථානයකට යන කාන්තාවක් විසින් ගෘහස්ථ හිංසනය යටතේ සැමියාගෙන් දික්කසාදය ඉල්ලා නඩුවක් ගොණු කළ හැකි අතර, අනිත් අතින් ද්වේශ සහගතව අත්හැර ගිය බව පවසමින් සැමියාට ද දික්කසාද නඩුවක් පැවරිය හැකි බව පෙන්වා දුන්නේය.
“ගෙදොරදොර ප්‍රචණ්ඩත්වයේ දී පුරුෂයන් විසින් නිතරම කරන දෙයක් කාන්තාවන්ට අතින් පයින් පහර දීම. මෙහි තවත් පැත්තක් තියෙනවා. හිතේ සැකය නිසා සිය දරුවන් සහ ඥාතීන් ඉදිරියේ පවා ස්වාමිපුරුෂයන්ට නින්දා පරිභව කරන ඇතැම් කාන්තාවන් සිය සැමියාට නිවසේ ජීවත් විය නොහැකි තත්වයක් ඇති කරනවා. මෑතදී මම පෙනී සිටි නඩුවක දී කියැවුණේ භාර්යාව සැකය මත සැමියාගේ කාර්යාලයේ වැඩ කරන කාන්තාවන් පවා ඔහුට පාවා දෙමින් පරිභව කිරීම නිසා ඔහුට නිවසේ ජීවත් විය නොහැකි තත්වයක් උදා වූ බව. බිරිඳගේ එම හැසිරීමට ඇයගේ දෙමවියන්ගේත් සහයෝගය ලැබී තිබුණා. ගෘහස්ත ප්‍රචණ්ඩත්වය කියන විට අපි හිතන්නේ පුරුෂයකු කාන්තාවකට අතින් පයින් පහර දීම පමණයි. එවැනි තත්වයක් ඇති අතරම අනිත් අතින් කාන්තාවන් ද නින්දා පරිභව කිරීම් වලින් නොනැවතී පුරුෂයන්ට පහර දෙන අවස්ථාත් අප ඉදිරියේ ප්‍රකාශ වෙනවා” නීතිඥ නාමල් රාජපක්ෂ පවසයි.
ශ්‍රී ලංකාවේ පවුල් දික්කසාද වීම් කෙරෙහි ගෘහස්ත හිංසනය සහ සැමියාගේ හෝ බිරිඳගේ අනියම් සබඳතා බහුල වශයෙන් හේතු වෙන බව ශ්‍රී ලංකා නීති ආධාර කොමිසමේ නීතිවේදිනී සජීවනී අබේකෝන් පවසන්නීය.
ආර්ථික ප්‍රශ්න, බීමත් කම සමඟ බැඳුන පහර දීම් පමණක් නොව දෑවැද්ද මුල් කර ගත් ගැටුම් මෙන්ම නැන්දම්මා- ලේලි ගැටුම් ද ඇතැම් විට පවුල් දික්කසාද වීමට මුල් වී ඇති බව නීතිවේදිනී සජීවනී අබේකෝන් පෙන්වා දෙයි.
“ඒ සියල්ලටම අමතරව සමාජ ජාලා මාධ්‍ය අඩවි,ජංගම දුරකථන පහසුකම් ව්‍යාප්තිය ආදිය මිනිසුන් අඳුනා ගැනීම සහ සබඳතා ගොඩ නගා ගැනීම ආදිය පහසු කරලා තියෙනව. ඒ අනුව ස්ත්‍රී-පුරුෂ දෙපාර්ශ්වයම අනියම් සබඳතා කෙරෙහි නැඹුරු වෙනවා. එය පවුල් සංස්ථාවට කරන්නේ අහිතකර බලපෑමක්” ඇය වැඩි දුරටත් සඳහන් කළාය.
“දැන් දැන් අප හමුවට එන කාන්තාවන් කියනවා-සමාජ ජාලා වෙබ් අඩවි හරහා ඡායාරූප හුවමාරු කර ගැනීම්, ‘චැට්’ කිරීම් ආදිය මගින් අනියම් සබඳතා ඇතිවෙන බව. ලැබෙන ‘මිස් කෝල්’ එකක් වුනත් ඇති සම්බන්ධයක් ගොඩ නැගෙන්න. අන්තර්ජාලයේ අසභ්‍ය වීඩියෝ පළ කෙරෙනව. ‘ගූගල්’ අන්තර්ජාල වෙබ් අඩවිය වරක් කිව්වා ‘සෙක්ස්’ යන වචනය අන්තර් ජලයේ වැඩියෙන්ම භාවිතා කරපු රට ශ්‍රී ලංකාවය කියල” නීතිවේදිනිය ප්‍රශ්නයේ සුළ මුල විපරම් කරයි.
ඇතැම් පුරුෂයන් අන්තර්ජාල අසභ්‍ය වීඩියෝ පටවල දැක්වෙන ආකාරයට ලිංගික චර්යාවන්හි නිරත වෙන ලෙස බල කෙරෙන බව නීති ආධාර කොමිසමට එන ඇතැම් සේවාදායිකාවන් ප්‍රකාශ කරන ලද අවස්ථා ඇති බවත් ඇය ප්‍රකාශ කළාය.
ගෘහස්ථ හිංසනය වැලැක්වීම සඳහා 2005 වසරේ දී අංක 34 දරන ගෘහස්ථ හිංසනය වැළැක්වීමේ පනත සම්මත කෙරුණ බව සඳහන් කළ නීතිවේදිනිය, ස්වාමි පුරුෂයා භාර්යාවට එසේත් නැත්නම් භාර්යාව ස්වාමි පුරුෂයාට හිංසා කරනු ලබන්නේ නම් එම පනත අනුව වින්දිත පාර්ශ්වයට ‘ආරක්ෂක ආඥාවක්’ ලබා ගත හැකිව ඇතැයිද පෙන්වා දුන්නාය.
“ශ්‍රී ලාංකික සමාජයේ පවුලේ ආර්ථික බලය ස්වාමි පුරුෂයා සතු හෙයින්ද , හිරිහැර විඳ දරා ගනිමින් ඉවසීම පවුලේ පැවැත්මට හේතු වන්නේයයි සිතන නිසාද ගෘහස්ථ හිංසනයට ගොදුරු වෙන බොහෝ කාන්තාවන් නීතිය ඉදිරියට නොපැමිණෙන” බවත් ශ්‍රී ලංකා නීති ආධාර කොමිසමේ නීතිවේදිනී සජීවනී අබේකෝන් පවසයි.
“සමහර කාන්තාවන් දික්කසාදයකට නොගොහින් නඩත්තු නඩුවකින් සෑහී පවුල පවත්වා ගන්නවා”නීතිවේදිනිය පවසන්නීය.
කෙසේවුවද, නීතිය ඉදිරියට ඉදිරිපත් වෙන දික්කසාද පැමිණිලිවල දී අඹු සැමියන් වෙන් කිරීමෙන් තොරව ඒවා නිරාකරණය කර දීමට උත්සාහ දරන නමුත් බොහෝවිට ඒ වන විට ප්‍රශ්නය උග්‍ර වී ඇති බවත් ශ්‍රී ලංකා නීති ආධාර කොමිසමේ නීතිවේදිනී සජීවනී අබේකෝන් පෙන්වා දෙයි.
(BBC)