දේශපාලනය සමඟ සම්බන්ධතා නැති අපරාධකරුවන් විසින් මිනීමැරුමක් කළ විට එය ඉතා ඉක්මනින් විභාග කොට වසර කිහිපයක් ඇතුළත දඬුවම් පමුණුවන නමුත් ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ පුද්ගලයන්ට දඬුවම් දීමට අපොහොසත් වීම හේතුවෙන් ඊට වගකිව යුතු ප්‍රධාන සැකකරු හෝ සැකකරුවන්ට අනාගතයේදී රටේ ජනාධිපති හෝ අගමැති පදවියට වුවද තේරී පත් වීමට දොරටු විවෘත විය හැකැයි ලසන්තගේ සොහොයුරු ලාල් වික්‍රමතුංග වෙනුවෙන් ප්‍රකාශයක් ඉදිරිපත් කළ පවුලේ සාමාජිකාවක් කියා සිටියාය.
ඇය එම ප්‍රකාශය කළේ ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාළ පරීක්ෂණවල මන්දගාමීභාවය සම්බන්ධයෙන් කනගාටුව පළ කරමිනි.
ලසන්ත වික්‍රමතුංග ඝාතනය සිදු කොට අදට (ජනවාරි 08) වසර නවයක් සම්පූර්ණ වෙයි.
ඒ නිමිත්තෙන් අද ලසන්ත වික්‍රමතුංග සොහොන් ස්මාරකය අසළට පැමිණි සිටි ඔහුගේ පවුලේ ඥාතීන් හා හිතමිතුරෝ වසර නවයක් ගත වී ඇතත් මරා දමන ලද මාධ්‍යවේදියා වෙනුවෙන් යුක්තිය ඉටු නොකිරීම සම්බන්ධයෙන් ඔවුන්ගේ කනගාටුව පළ කළහ.
ලසන්ත වික්‍රමතුංග වෙනුවෙන් කලින් පැවති මෙවැනි සමරු උත්සව දේශපාලනඥයන්ගෙන් පිරී තිබුනත් අද උදෑසන පැවති සමරුවට සහභාගී වූ එකම දේශපාලකයා වුණේ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පමණි.
‘සන්ඩේ ලීඩර්’ පුවත් පතේ කතෘවරයාව සිටි මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග රත්මලානේ සිය කාර්යාලය වෙත සිය මෝටර් රථයෙන් ගමන් ගනිමින් සිටියදී, අත්තිඩිය ප්‍රදේශයේදී ඝාතනය කරන ලද්දේ 2008 වසරේ ජනවාරි 08 වෙනි දිනයි.
එම අපරාධයෙන් අනතුරුව වසර නවයක් කාලයක් ගතවී ඇතත් ලසන්ත වික්‍රමතුංග ඝාතකයන් හෙළිකර ගැනීමට පොලිසිය තවමත් අපොහොසත්ව ඇත.
2015 වසරේදී වත්මන් ආණ්ඩුව බලයට පත් වූ පසු ලසන්ත වික්‍රමතුංග ඝාතකයන් සොයා ගැනීමේ කාර්යය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන් නමුත් වසර තුනක් ගත වී ඇතත් තවමත් එහි අවසන් ප්‍රතිඵලයක් ලැබී නැත.
අදාළ පරීක්ෂණ එහි අවසාන අදියරේ පවතින බව ආණ්ඩුව නිතර ප්‍රකාශ කළත් එම ප්‍රකාශන මැතිවරණ ප්‍රයෝජන සඳහා සිදු කරනු ලබන ඒවා බව ආණ්ඩුවට එරෙහිව නැගෙන චෝදනා මගින් පැවසෙයි.
අගමැති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ 70 වැනි සංවත්සරය සඳහා පසුගිය දා නිකුත් කල නිවේදනයේත් ලසන්ත වික්‍රමතුංග ඝාතකයන්ට දඬුවම් දීම සඳහා ආණ්ඩුව කැප වන බවක් සඳහන් කර තිබුණි.
පරීක්ෂණ කොතැනද ?
“පරීක්ෂණ සිදු කෙරෙමින් පවතිනවා.”යම් යම් බාධා කිරීම්” නැත්නම් අපට මීට වඩා ප්‍රගතියක් අත්කර ගන්න තිබුණා. මෙය වසර ගණනක් හංගපු දෙයක්. ඒ නිසා යම් කාලයක් ගත වෙනවා” සිය නම සඳහන් කිරීමට අකැමැති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පරීක්ෂණ වල ප්‍රගතිය ගැන බීබීසි සිංහල සේවයට අදහස් දක්වමින් කියා සිටියේය.
ලසන්ත ඝාතනය පිළිබඳව සිදු කෙරෙමින් ඇති පරීක්ෂණයට සම්බන්ධ එම නිලධාරියා “යම් යම් බාධා කිරීම්” ලෙස හඳුන්වන්නේ ආරක්ෂක අංශ වලට සම්බන්ධ හිටපු ප්‍රධානීන්ගෙන් ප්‍රශ්න කිරීම අතින් එල්ල වූ විවිධ බාධා කිරීම්ය.
ලසන්ත ඝාතනයට හමුදා බුද්ධි අංශ සම්බන්ධයක් ඇතැයි පොලිසිය සැක කරන අතර ඒ අනුව 2017 වසර මුලදී හමුදා බුද්ධි අංශ සාමාජිකයන් කීප දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුණි.
ලසන්ත වික්‍රමතුංග ඝාතනය මෙන්ම මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වීම සහ මාධ්‍යවේදී කීත් නොයාර්ට පහර දීමට සම්බන්ධ බවට සැක කෙරෙන හමුදා බුද්ධි අංශ නිලධාරීන්ද මෙලෙස අත්අඩංගුවට ගැනීම් පසුගිය කාලයේ සිදු කරනු ලැබුණි.
හමුදා බුද්ධි අංශ එම අපරාධවලට සම්බන්ධ නම් පරීක්ෂණ ඉදිරියට ගෙන ගොස් ඔවුන්ට උපදෙස් දුන් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය තවමත් අසමත්වීම සම්බන්ධයෙන් ද සමාජ කතිකාවක් ඇත.
සාක්ෂි නොමැති වීම එවැනි අත්අඩංගුවට ගැනීම්වලට බාධාවක් වී ඇති බව එක් අතකින් ප්‍රකාශ වෙන අතර , ආරක්ෂක අංශයේ හිටපු ප්‍රධානීන් අත්අඩංගුවට නොගන්නා ලෙස ආණ්ඩුවේ ප්‍රබලයකුගෙන් නියෝගයක් ලැබී ඇතැයි තවත් පිරිසක් පවසති.
විශේෂයෙන්ම රණවිරුවන් අත්අඩංගුවට ගන්නා බවට එල්ල වෙන චෝදනා වලින් මිදීම සඳහා ආරක්ෂක අංශයේ හිටපු ප්‍රධානීන් අත්අඩංගුවට ගැනීම වළක්වා ඇත යන්න ඔවුන්ගේ මතය වෙයි.
ලසන්ත වික්‍රමතුංග ඝාතනයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ මෙන්ම හිටපු හමුදාපති සරත් ෆොන්සේකාගේ නම් කියැවුණත් ඔවුන් දෙදෙනා විසින්ම එම ප්‍රකාශන ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.
“මේ ගැන කතා කරලා වැඩක් නැහැ, ඔක්කොම හොයා ගත්තාය කියල කිව්වා. නමුත් මොකුත් වෙන්නේ නැහැ. අපි දැන් ඒ ගැන කතා කරන්නේවත් නැහැ. මොකද එය කාලය නාස්ති කිරීමක් විතරයි” සන්ඩේ ලීඩර් හිටපු මාධ්‍යවේදිනී මන්දනා ඉස්මයිල් තම කතුවරයා ගේ ඝාතනය ගැන සිදු කෙරෙන පරීක්ෂණ ගැන බීබීසි සිංහල සේවයට අදහස් දක්වමින් කියා සිටියාය.
ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනවලට එරෙහිව සැලසුම් සහගතව සිදු කළ අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන් කොට, යුක්තිය ඉටු කිරීමක් ඉතිහාසය පුරා ම සිදු වී නොමැති බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පසුගිය දා ප්‍රකාශ කළේය.
ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඇතුළු ජනමාධ්‍ය සංවිධාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගෙන් අවස්ථා ගණනාවක දී ඉල්ලීම් කර ඇත.
(BBC ඇසුරෙණි)