කුඹුරු පවරා ගැනීමේදී පවරා ගැනීමේ කටයුතුවලදී කුඹුරු හිමියන්ටත් වානිජ වටිනාකම ලබා දෙන්නැයි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් ඉල්ලා සිටියි.
සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු සහ ඉඩම් ඇමති ජෝන් අමරතුංග ඉඩම් රජයට පවරා ගැනීමේ පනත යටතේ නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදි කබීර් හෂීම් අමාත්‍යවරයා මෙම අදහස් දැක්වීය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ කබීර් හෂීම් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ නාගරික සංවර්ධන අධිකාරිය යටතේ නාගරික ඉඩම් සංවර්ධනය කිරීමේ කටයුතු සඳහා කුඹුරු ඉඩම් පවරා ගැනීමේ දී එම ඉඩම් වෙනුවෙන් සුළු මුදලක් ගෙවන බවය.ඇතැම් අවස්ථාවල දී ගෙවීමක් සිඳු නොවන බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා,මේ තත්ත්වය මත එම කුඹුරු හිමියන්ට අසාධාරණයක් වන බව පෙන්වා දුන්නේය.
කබීර් හෂීම් අමාත්‍යවරයා විසින් මතු කළ කරුණු සත්‍ය බව පැවසූ ජෝන් අමරතුංග අමාත්‍යවරයා පෙන්වා දුන්නේ,වන්දි ගෙවීමේ පනත් සංශෝධනය කිරීමට අවශ්‍යය කටයුතු සැකසෙමින් පවතින බවත්,ඒ අනුව ඉදිරියේදි හොඳ වන්දි මුදලක් ලබා දීමට හැකි වනු ඇති බවත්ය.