එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් නොයෙක් ආකාරයේ චෝදනා එල්ල වුවත් ජාත්‍යන්තර අභියෝග ඉවත් කර ගැනීමට “සම්මුතිවාදී ආණ්ඩුව” හේතු වූ බවත් වත්මන් ආණ්ඩුව ශ්‍රී ලංකාවේ වැඩකරන ජනතාවට සහන රැසක් ලබා දී ඇති අතර රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සියලු සේවිකාවන්ට දින අසූ හතරේ ප්‍රසූත නිවාඩුව ස්ථීර වශයෙන් ලබා දීම සඳහා ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා එම ප්‍රකාශය කළේ මහනුවර ගැටඹේ ක්‍රීඩාංගනයේ පැවැත්වුන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි දින රැලිය අමතමිනි.
අද ශ්‍රී ලංකාව ලෝකයේ වෙනත් රටවලින් බලපෑම් එල්ල නොවන රාජ්‍යයක් බවට පත්ව ඇති බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සඳහන් කළේය.
“අද අපට ලෝකයේ කිසිම රටකින් ඇඟිලි ගැසීමක් නැහැ. ලෝකයේ කිසිම රටකින් බලපෑමක් නැහැ”ජනාධිපතිවරයා පවසයි.
එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් නොයෙක් ආකාරයේ චෝදනා එල්ල වුවත් ජාත්‍යන්තර අභියෝග ඉවත් කර ගැනීමට “සම්මුතිවාදී ආණ්ඩුව” හේතු වූ බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකයන් ඉවත් කරනු ලැබීම පක්ෂය දෙකට කැඩීමක් යයි පැවසෙන නිවේදනයක් මම දැක්කා .එසේ පවසන්නේ අලුත් දේශපාලන පක්ෂයක් හදාගෙන වෙනත් තැනක මැයි දිනය පවත්වන පක්ෂයේ කිසිදු සංවිධාන කටයුත්තකට සහභාගී නොවන පුද්ගලයන්” යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.