ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගන්නා ලද තීරණයට එරෙහිව නැගෙන විරෝධතාවල නවතම අවස්ථාව ලෙස ලෙබනනයේ ඇමෙරිකානු තානාපති කාර්යාලය අසළ පැවති විරෝධය ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ඉසිලීය.
බේරුට් අගනුවර උතුරු ප්‍රදේශයේ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය ආසන්නයේ ධජ ලෙලවමින් විරෝධතාවයේ යෙදුනු පිරිස වෙත ආරක්ෂක අංශ කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළහ.
ඇමෙරිකානු තීරණය හෙලාදුටු අරාබි ලීගය, මැදපෙරදිග සාමයේ මැදිහත්කරුවකු ලෙස දැන් ඇමෙරිකාව මත රඳා පැවතිය නොහැකි බව පැවසීය.
ලෙබනනයේ ඇමෙරිකානු තානාපති කාර්යාලය අසළ විරෝධතාවල නිරතවුවෝ එය වෙත ගල්මුල් විසි කළ අතර ආසන්න මාර්ගයේ ගිනි තැබීම් ද කළහ.
තානාපති කාර්යාල ප්‍රධාන සංකීර්ණය වෙත දිවෙන ප්‍රධාන මාර්ගය බාධක යොදා අවහිර කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබිණි.
ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේ, ඇතැම් විරෝධතාකරුවන් පරිශ්‍රයේ ආරක්ෂක වැට කඩොලු අතරින් ඒ තුළට ඇතුළුවීමට උත්සාහ දැරූ බවය.
ඇමෙරිකාව “පලස්තීනයේ සතුරෙක්” යැයි ලෙබනන කොමියුනිස්ට් පක්ෂයේ නායක හනා ඝරිබ් විරෝධතාකරුවන්ට පැවසීය.
විරෝධතාකරුවන්ගෙන් එක් පිරිසක් ඇමෙරිකානු ජනාධිපතිවරයාට සමාන රුවකට ගිනි තැබුහ.
ඊශ්‍රායලය ගොඩනැගීමෙන් අනතුරුව ඉන් පලාගිය පුද්ගලයින් මෙන්ම ඔවුන්ගෙන් පැවත එන්නන් ද ඇතුළු පලස්තීන සරණාගතයින් ලක්ෂ ගණනක් ලෙබනනයේ වෙසෙති.
ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ නිවේදනය නිකුත්වූ දින සිට දින තුනක් පුරා පලස්තීන ජනතාව මෙන්ම ඔවුනට සහය දක්වක්වන්නෝ විරෝධතාවල යෙදී සිටිති.
ඊශ්‍රායලය විසින් ජෙරුසලම සැමවිටම සිය අගනුවර ලෙස සලකනු ලබන අතර 1967 ඇතිවූ යුද්ධයෙන් පසු ඊශ්‍රායලය ආඳාගෙන සිටින නැගෙනහිර ජෙරුසලම සිය අනාගත රාජ්‍යයේ අගනුවර ලෙස පලස්තීන ජනතාව විසින් සලකනු ලබයි.
ජනාධිපතිවරණ සමයේ දුන් පොරොන්දුවක් ඉටු කිරීම සිය තීරණයෙන් සිදුවන අතර ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීම “යථා තත්ත්වය පිළිගැනීමට වඩා වැඩි හෝ අඩු දෙයක් නෙවෙයි.”
ඊජිප්තුවේ කයිරෝ නුවර පැය කිහිපයක් පුරා පැවති සාකච්ඡාවලින් අනතුරුව අරාබි ලීගය සිය යෝජනාව ප්‍රකාශයට පත් කළ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය හා ජෝර්දානය ඇතුළු ඇමෙරිකානු හිතවාදී පාර්ශව ගණනාවක සහය ද ඊට ලැබිණි.
එම යෝජනාවේ දැක්වෙන කරුණු :
•ඇමෙරිකාව සිය තීරණය හරහා ඊශ්‍රායලය හා පලස්තීනය අතර ඇතිවිය හැකි ඕනෑම සාම ක්‍රියාදාමයක “අනුග්‍රාහකයකු හා මැදිහත්කරුවකු ලෙස සිය තත්ත්වය ඉවත්කරගැනීමට” ඇමෙරිකාව පියවර ගෙන ඇති බව.
•ජනාධිපති ට්‍රම්ප් ගේ පියවර “නොසන්සුන් තත්ත්වය තවත් උත්සන්න කෙරෙමින්, ක්‍රෝධය මතුකරමින් හා කලාපය වඩාත් ප්‍රචණ්ඩකාරීත්වයට හා වියවුලට හෙලීමේ තර්ජනයක්” ඇති බව.
•මෙම පියවර හෙලා දකින ලෙස එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලා සිටීම
ඊශ්‍රායලයට මෙන්ම පලස්තීනුවන්ටද ජෙරුසලම අතිශයින් ම වැදගත් වේ. යුදෙව්, ඉස්ලාම් හා ක්‍රිස්තියානි යන ආගම් තුනටම වැදගත්වන්නාවූ ප්‍රධාන පූජනීය ස්ථාන තුනක් එහි තිබේ.
ජෝර්දානය විසින් පෙරදී අත්පත්කරගෙන තිබූ ජෙරුලසමේ නැගෙනහිර කොටස 1967 දී ඊශ්‍රායලය විසින් අත්පත් කරගනු ලැබූ අතර 1980 දී එය ආඳාගන්නා ලදී. එහෙත් ජාත්‍යන්තර වශයෙන් එම පියවර පිළිගෙන නොතිබිණි.
නැගෙනහිර ජෙරුසලම තුළ පදිංචිකිරීම් කරන ලද ජනාවාස කිහිපයක වෙසෙන ඊශ්‍රායල යුදෙව්වන් ලක්ෂ දෙකක පමණ පිරිසක් සමග පලස්තීනුවන් තුන්ලක්ෂ තිස්දහසක් පමණ වෙසෙති. ජාත්‍යාන්තර නීතියට අනුව එම ජනාවාස නීතිවිරෝධී ලෙස සැලකේ. ඒවා පදිංචි කිරීම් ලෙස නොසලකන ඊශ්‍රායලය නෛතික ජනාවාස ලෙස සලකයි.
1993 අත්සන් තබන ලද ඊශ්‍රායල – පලස්තීන සාම ගිවිසුමට අනුව ජෙරුසලමේ අවසාන තත්ත්වය සාකච්ඡාවට ගැනීමට නියමිතව තිබෙන්නේ සාම සාකච්ඡාවල අවසන් අදියරවලදීය.
2014 වසරේදී ඊශ්‍රායලය හා පලස්තීනය අතර අවසන් සාකච්ඡා වටය බිඳ වැටිණි. ඇමෙරිකාව අලුත් යෝජනා සකස් කරමින් සිටින අතරතුර පලස්තීන නිලධාරීන් සඳහන් කළේ ජනාධිපති ට්‍රම්ප් කළ නිවේදනය නිසා අනාගත සාකච්ඡාවල අතරමැදියකු ලෙස ක්‍රියාකිරීමට ඇමෙරිකාව සුදුසුකම් නොලබන බවය.
(BBC)